Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අනුරපුර පාපැදි තරගාවලියට එදිරිවාදිකම් හරස්වෙයි

අනුරපුර පාපැදි තරගාවලියට එදිරිවාදිකම් හරස්වෙයි

editorial - 2023 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සමස්ත ලංකා තරගාවලියක් ලෙස සංවිධානය කෙරෙන අනුරාධපුර දිස්ත්‍රික් (විවෘත) පාපැදි තරග මාලාවට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය බාධා පමුණුවමින් එය කඩාකප්පල් කිරීමට දරන උත්සාහයක් පිළිබඳව චෝදනා කරමින් අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාට පැමිණිලි කර තිබේ.

පාපැදි සම්මේලනයේ ඉහළ පෙලේ නිලධාරියෙක් පෞද්ගලික අමනාපකමක් දඩමීමා කර ගනිමින් ලබන ඉරිදා (15) අනුරාධපුරයේදී පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර තිබෙන මෙම පාපැදි තරග මාලාවට සහභාගි නොවන ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ක්‍රීඩා සමාජවලට බලපෑම් කරමින් ලිපියක් යවා ඇතැයි චෝදනා කරන අනුරාධපුරය දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම් හා ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමයේ සභාපති උපුල් චන්දන ප්‍රියනාන් මහතා මෙම බාධා කිරීම් ඉවර කර තරග මාලාව සාර්ථකව පවත්වා අවසන් කිරීම සඳහා මැදිහත් වන ලෙස ක්‍රීඩා ඇමතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

මේ අතර උපුල් චන්දන ප්‍රියනාත් මහතා පවසන්නේ විශේෂයෙන්ම අනුරාධපුරය දිස්ත්‍රික් පාපැදි තරග මාලාව අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පදිංචි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් කිරීමට ගන්නා උත්සාහය ප්‍රායෝගික නොවන බවයි. පාපැදි සම්මේලනය සංවිධානය කරන ජාතික පාපැදි තරගාවලියට දිස්ත්‍රික්කයකින් සුදුසුකම් ලත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කර ගත්තේ දිස්ත්‍රික් තරගාවලියෙන් බව එහිදී උපුල් චන්දන මහතා වැඩිදුරටත් අවධාරණය කරයි. 

දිවයිනේ ඕනෑම තරගකරුවන්ට හා තරගකාරියන්ට විවෘත අනුරාධපුර පාපැදි තරග මාලාව බාලක හා බාලිකා කාන්තා හා පිරිමි යන කණ්ඩායම්ගෙන් ඉසව් 10 කින් සමන්විතව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

උපුල් චන්දන ප්‍රියනාත් මහතා ‘ලංකාදීප’යට පැවසුවේ කුමන බාධා පැමිණ වුවත් තරග මාලාව යොදාගත් පරිදි ලබන ඉරිදා අනුරාධපුරයේදී පවත්වා අවසන් කරන බවයි. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිආරච්චි මහතා එහි සඳහන් කර ඇත්තේ සිය සම්මේලනයේ කවුන්සිල රැස්වීමේදී ගත් තීරණයන්ට අනුව අනුරාධපුරය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වෙන පැපැදි තරග මාලාවන් පිළිබඳව දැන ගන්නට ලැබී තිබෙන නමුත් ඒ සඳහා පාපැදි සම්මේලනයේ අනුමැතිය ලබාගෙන නොමැති බවයි.

එබැවින් ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ඉහත රැස්වීමේදී තීරණය කළ බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.


අදහස් (0)

අනුරපුර පාපැදි තරගාවලියට එදිරිවාදිකම් හරස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.