ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන අතරමැදි බොක්සිං තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 138 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඊයේ (3 වැනිදා) කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. තරගාවලියේ අවසන් මහ තරග ලබන 6 වැනිදා පැවැත්වේ.
වයස අවුරුදු 19 ත් 40 ත් අතර ආධුනික, අතරමැදි, ජාතික කනිෂ්ඨ, සහ ස්ටබ්ස් පළිහ යන බොක්සිං තරගාවලි වලදී ජයග්‍රහණ ලබාගත් තරගකරුවන් පමණක් මෙම තරගාවලියට සහභාගිවී සිටිති.
පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම බර පංති 10 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි තරග විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත වන අතර කාන්තා තරග විනාඩි 2 බැගින් වන වට 4 කින් සමන්විත වේ.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර ඔවුහු ලේටන් කුසලාන, ක්ලිෆර්ඞ් කුසලාන, ජාතික ශූරතාවලිය වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලට සහභාගී වීමටද සුදුසුකම් ලබති.
මෙහි සියලු තරග ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය මගින් හඳුන්වාදුන් නව නීති රීති වලට අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇත. නාවික හමුදා බොක්සිං කමිටුවේ සභාපති එම්.ඒ.එල්. පෙරේරා මහතා තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.