කොළඹ ඔටර්ස් ක්රීඩා සමාජ ශාලාවේදී පැවැති 64 වැනි ජාතික බිලියඞ් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වරාය අධිකාරියේ කේ. එච්. සිරිසෝම සමත් විය. සිරිසෝම ජාතික බිලියඞ් ශූරතාව දිනාගත් 25 වැනි අවස්ථාව මෙයයි.
අවසන් මහ තරගයේදී රාමු 6-3 ක් ලෙස මුවර්ස් ක්රීඩා සමාජයේ එස්. එච්. එම්. අස්ලම් පරාජය කරමින් 62 හැවිරිදි සිරිසෝම ජාතික බිලියඞ් ශූරතාව දිනාගත්තේය.
සාර්ථක ආරම්භයක් ලාබගත් එස්. එච්. එම්. අස්ලම් අවසන් මහ තරගයේ පළමු රාමුව ලකුණු 100/91 ක් ලෙස ජයගැනීමට සමත් විය. එසේ වුවත් ලකුණු 100/98 ක් ලෙස දෙවැනි රාමුව ජයගැනීමට සිරිසෝම සමත් වීමත් සමග රාමු 1--1 ක් ලෙස තරගය සම තත්ත්වයට පත්විය.
තෙවැනි රාමුව ලකුණු 100/51 ක් ලෙස ජයගනිමින් තරගයේ පෙරමුණ ගැනීමට සිරිසෝම සමත් වුවද, ලකුණු 100/63 ක් ලෙස සිව්වැනි රාමුව ජයගත් අස්ලම් රාමු 2--2 ක් ලෙස නැවතත් තරගය සම තත්ත්වයකට ගෙන ආවේය.
ලකුණු 101/91 ලෙස පස්වැනි රාමුව ජයගනිමින් තවත් පියවරක් ඉදිරියට තැබීමට සිරිසෝම සමත් වූ අතර ලකුණු 100/85 ක් ලෙස හයවැනි රාමුවේ ජය අස්ලම් සතුවීත් සමගම තරගයේ උණුසුම තවත් වැඩි විය. ඒ අනුව රාමු 6 ක් අවසන් වන විට 3--3 ක් ලෙස ක්රීඩකයෝ දෙදෙනාම සම තත්ත්වයේ පසුවූහ.
එතැන් සිට සිය අත්දැකීම් මනාව ප්රයෝජනයට ගනිමින් තරගයේ යෙදුන සිරිසෝම, ලකුණු 100/44 ක්, 101/39 ක් සහ 100/78 ක් ලෙස ඉතිරි රාමු 3 පිට පිටම ජයගනිමින් තරගාවලියේ ශූරතාව තමන් සතුකර ගත්තේය.
අවසන් පූර්ව වටයේදී ශ්රී ලංකා යුද හමුදාවේ සුසන්ත වික්රම පරාජය කරමින් සිරිසෝම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර අස්ලම් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ගාල්ල ක්රීඩා සමාජයේ කේ. දේවපුර හමුවේ නිතරග ජයක් ලබමිනි.
අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම හේතුවෙන් සිරිසෝම සහ අස්ලම් දෙදෙනාම ලබන දෙසැම්බර් මස 5 වැනිදා සිට 10 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක බිලියඞ් ශූරතාවලියට සහභාගි වීම සඳහා සුදුසුකම් ලබාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.