ඉන්දියාවේදී දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් පැවැතියද ශ‍්‍රී ලංකා පිරිමි සහ කාන්තා පැසිපන්දු කණ්ඩායම් දෙකම හෙට (9) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ශ‍්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමේ ගුවන් ප‍්‍රවේශපත් වෙන්කර ඇත්තේ හෙට දිනයේ බැවින් පැසිපන්දු තරග පැවැත්වෙන ගුවාහටි නගරයට කණ්ඩායම් යැවීමට තීරණය කළ බව ශ‍්‍රී ලංකා පැසිපන්දු සංගමයේ ලේකම් තක්ෂිල සර්ධ මහතා ‘ලංකාදීපයට’ පැවසීය.
”අපට මේ වන විට සාග් පැසිපන්දු තරගාවලිය පැවැත්වෙන බව ස්ථිරවම දන්වා නෑ. ඉන්දියාවට යෑමට අපට ගුවන් ප‍්‍රවේශපත වෙන්වී ඇත්තේ හෙට දිනයෙයි.
ශ‍්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් ඉන්දියාවේ සිටින නිසා ඔවුන් සමග සාකච්ඡා කර තීරණයකට එළැඹීමට අපි හෙට ගුවාහටි නගරයට යන්න තීරණය කළා යැයි ” සර්ධ මහතා පැවසීය.
සාග් පැසිපන්දු තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය පැසිපන්දු සම්මේලනය සහ ඉන්දීය ජාතික ඔලිම්පික් කමිටුව අතර ගැටුමක් හට ගෙන ඇති බැවින් අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනය ශ‍්‍රී ලංකාවට දන්වා ඇත්තේ සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගිනොවන ලෙසයි.
දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලිය (පිරිමි/කාන්තා) මේ මස 11 වැනිදා ගුවහාටි නගරයේදී ආරම්භවීමට නියමිතව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.