
(ශානුක අරවින්ද)
ඉන්දියාවේ බුබනේෂ්වර් නුවරදී පැවැති 28 වැනි ආසියානු කණ්ඩායම් මේසපන්දු ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි මේසපන්දු කණ්ඩායම එහි 16 වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් ඔවුන්ට ලෝක කණ්ඩායම් මේසපන්දු ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
ලබන වසරේ (2026) එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන ලෝක කණ්ඩායම් මේසපන්දු ශූරතාවලිය සඳහා ආසියානු කලාපයෙන් කණ්ඩායම් 16 ක් තෝරාගනු ලබන නමුත් මෙම තරගාවලිය තුළින් ඊට සුදුසුකම් ලබන්නේ කණ්ඩායම් 15 ක් පමණි. එබැවින් ශ්‍රී ලංකාවට නූලෙන් එම අවස්ථාව අහිමිවී ගියේය.
මෙම තරගාවලියේ මුල් ස්ථාන 15 ට ඇතුළත් වූ කණ්ඩායම් සමග මෙම තරගාවලියට සහභාගි නොවූ රටක් වන බහරේනයද ආසියාව නියෝජනය කරමින් ලෝක ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා සිටියි. පවතින තත්වය අනුව ශ්‍රී ලංකාවට ලෝක ශූරතාවලියට සහභාගි වීමට අවස්ථාවක් හිමිවන්නේ සුදුසුකම් ලැබූ රටක් ඊට සහභාගි වීමෙන් වැළකී සිටියහොත් පමණි.
මෙම තරගාවලියේ මූලික වටයේදී පළමු කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කිරිගිස්ථානයට එරෙහිව තරග 3-1 ක ජයක් ලැබූ නමුත් කසකස්ථානය හමුවේ තරග 3-0 ක් ලෙස පරාජය පත්වූහ. ඒ හේතුවෙන් ඔවුන්ට තරගාවලියේ 12 වැනි ස්ථානයත්, 16 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවිය.
තරග සැකැස්මට අනුව එම ස්ථාන 5 සඳහා තරග වැදුණු කණ්ඩායම් අතරින් මැලේසියාව, මොංගොලියාව සහ උස්බැකිස්ථානය නිතර ජය ලබා ඉදිරියට ගිය අතර ශ්‍රී ලංකාවට සහ කටාර් රාජ්‍යයට ඉදිරියට යෑමට සඳහා එකිනෙකාට එරෙහිව තරග වැදීමට සිදුවිය. එම තරග වටයෙන් 3-1 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට 16 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
කටාර් රාජ්‍යයට එරෙහිව පැවැති තරග වටය කේවල තරග 5 කින් සමන්විත වූ අතර එහිදී එක් තරගයක් හෝ ජයගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකාවේ ශෆියුල්ලා අක්‍රම් පමණි. සෙසු තරග 3 දී චමීර ගිණිගේ දෙවරක්ද, නිමේෂ් රංචාගොඩ එක් වරක්ද පරාජයට පත්වූහ. ශ්‍රී ලංකාව පිට පිටම තරග 3 ක් පරාජයට පත්වීම හේතුවෙන් එහි පස්වැනි තරගය අත්හැර දැමිණ.
මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 22 ක් සහභාගි වූ අතර ඉන් කණ්ඩායම් 6 ක් (චීනය, ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව, හොං කොං සහ චීන තායිපේ) ශ්‍රේණිගත කිරීම් අනුව ඍජුවම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. සෙසු කණ්ඩායම් 16 මූලික වටයේ සිට කාණ්ඩ 5 ක් යටතේ තරගාවලියට සහභාගි විය.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගි වූ තරග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.