Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා කණ්ඩායම් ඉවතට විසිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම් ඉවතට විසිවෙයි

රොෂාන් ගුණරත්න - 2017 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජර්මනියේ ඩුසෙල්ඩොර්ෆ් නුවරදී පැවැත්වෙන ලෝක මේසපන්දු ශූරතාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේදී තරගය බැගින් ජයගැනීමට ශ්‍රී ලංකාවේ චලිත රංජන සහ එරන්දි වරුසවිතාන සමත් වූවත් මූලික වටයට සුදුසුකම් ලබාගැනීමට ඔව්හු දෙදෙනාම අසමත් වූහ.


පිරිමි කේවල සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරගයකදී වට 4-2 ක් ලෙස පලස්තීනයේ ඩොව්ෆෙෂ් හුසාමා පරාජය කරමින් චලිත රංජන සිය එකම ජයග්‍රහණයට හිමිකම් කීවේය. එරන්දි වරුසවිතාන සිය ජයග්‍රහණයට හිමිකම් කීවේ කාන්තා කේවල සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරගයකදී වට 4-1 ක් ලෙස අයර්ලන්තයේ ඔරහිලි ඒගන් පරාජය කරමිනි.


කෙසේ වුවත් ඉන් අනතුරුව සහභාගි වූ තරග වලදී පිළිවෙලින් චිලී රාජ්‍යයේ ඔලිවරස් පිලිප් හමුවේත් (වට 4-0 ක් ලෙස), අසර්බයිජානයේ චෙන් සින්ග්ටායි හමුවේත් (වට 4-1 ක් ලෙස) පරාජය වීම නිසා චලිතට සහ එරන්දිට තරගාවලියේ මූලික වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය.


පිරිමි කේවල සහ කාන්තා කේවල සුදුසුකම් ලබාගැනීමේ තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උදය රණසිංහ, මිලින්ද ලක්ෂිත, ඉෂාරා මධුරංගි සහ හංසනී පියුමිලා යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝද ජර්මනිය බලා ගියහ. එහෙත් ඔවුන් සහභාගි වූ තරගවලදී එකම ජයග්‍රහණයක් හෝ අත්කර ගැනීමට අපොහොසත් වීම නිසා ඔවුන්ටද සුදුසුකම් ලබාගැනීමේ වටයෙන්ම ඉවත් වීමට සිදුවිය.


ඇෆ්ගනිස්තානයේ මොහොමඩීන් හුසේන් හමුවේ නිතරග ජයක් ලැබීමට මිලින්ද ලක්ෂිත සමත් වුවද, ඉන් පසුව පැවැති තරගයේදී වට 4-0 ක් ලෙස පැරගුවේ රාජ්‍යයේ අගුයිරේ මාසෙර්ලේ හමුවේ පරාජයට පත්වීම නිසා ඔහුගේ ගමනද එතැනින් නිමාවට පත්විය.


තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ යුගළ තරග සඳහා තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායම්ද සහභාගි වූ තරග සියල්ලේදීම පරාජයට පත්විය. එහිදී පිරිමි යුගළ තරග සඳහා උදය රණසිංහ සමගින් නිර්මල ජයසිංහද, මිලින්ද ලක්ෂිත සමගින් රොහාන් සිරිසේනද තරග වැදුණ අතර කාන්තා යුගළ තරග සඳහා ඉෂාරා මධුරංගි සමගින් නුවනි නවෝද්‍යාද, හංසනී පියුමිලා සමගින් එරන්දි වරුසවිතානද තරග වැදුණහ.


රොහාන් සිරිසේන සමගින් ඉෂාරා මධුරංගිද, උදය රණසිංහ සමගින් රුවිනි කන්නංගරද මිශ්‍ර යුගළ සුදුසුකම් ලබාගැනීමේ වටයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළහ.

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම් ඉවතට විසිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.