Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවේ පදක්කමක බලාපොරොත්තු බිඳවැටෙයි

ශ්‍රී ලංකාවේ පදක්කමක බලාපොරොත්තු බිඳවැටෙයි

editorial - 2025 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ 

සෞදි අරාබියේ කොහොබාර් නුවරදී පැවැති 79 වැනි ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී කිසිදු පදක්කමක් දිනා නොගත් ශ්‍රී ලංකාවේ ඉහළම ජයග්‍රාහණය සිව් වැනි ස්ථානයකට සීමා විය.ඊට නිර්දේශවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනාගෙන් සිව් දෙනෙකු පමණක් මෙම තරග සංචාරයට සහභාගි විය.ඒ වියදම් සොයා ගත නොහැකිවීමෙන් ඔවුන් තරගාවලියෙන් ඉවත්වීමයි.

කෙසේවූවත් ක්‍රීඩා අමාත්‍යාංශය ඊට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව් දෙනෙකුට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීමෙන් අනුග්‍රාහය දැක්වීය.

එහිදී වියදම් සොයා ගත නොහැකිවීමෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලයනල් කුමාර,සහය පුහුණුකරු ධම්මික විජේකෝන් හා කළමනාකරු වසන්ත ප්‍රනාන්දු යන මහත්වරුද අවසන් මොහොතේදී සංචාරයෙන් ඉවත් විය.

ඒ අනුව කොහොබාර් නුවරදී ලෝක ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක නිපුන ලක්ෂාන් ශාරිරික යෝග්‍යතා  සෙන්ටිමීටර 170 ට වැඩි (පිරිමි) ඉසව්වෙන්  සිව් වැනි ස්ථානයට පත් විය.එය ශ්‍රී ලංකාව තරගාවලියේ වාර්තා කළ ඉහළම ජයයි.

මෙම ඉසව්වටම සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන චාරුක මධුශංක පෙරේරා හා රජිත ඉරේෂ් පියරත්න, පිළිවෙලින් ඉසව්වේ අට වැනි හා 11 වැනි ස්ථාන වලට පත් විය.ශ්‍රී ලංකා ක්‍රීඩක චමින්ද ප්‍රභාත් පිට් ක්ලැසික් පිසික් - සෙන්ටිමීටර 168 ට උස වැඩි (පිරිමි) ඉසව්වේ අත් කර ගත්තේ 10 වැනි ස්ථානයයි.

වයස 50 ට වැඩි ශාරීරික යෝග්‍යතා විවෘත - (පිරිමි) ඉසව්වේ හය වැනි ස්ථානය ශ්‍රී ලංකා ක්‍රීඩක චාමර ඩයස්ට හිමි විය.ඔහු මීට පෙර ආසියානු ශූරතා ලෝකඩ පදක්කමක් හිමි කර ගත් ක්‍රීඩකයෙකි.

රටවල් 82 ක් මෙවර ලෝක ශූරතාවලියට සහභාගි වූ අතර එහිදී ශ්‍රී ලංකාව ජේය්‍යෂ්ඨ (පිරිමි) කාන්ඩයේ තරගාවලියේ ලකුණු11ක් ලබා 22 වැනි ස්ථානය ලැබීය.

ප්‍රවීනයන්ගේ කාන්ඩයේදී ශ්‍රී ලංකාව ලකුණු පහක් ලබා 14 වැනි ස්ථානය ලැබීය.එහි සමස්ත ජය ජපානයට හිමි විය. සමස්ත තරගාවලිය ජය ගත් චීනය මුළු ලකුණු182 ක් රැස් කරමින් ජේය්‍යෂ්ඨ කාන්ඩයද හා ලකුණු 41ක් රැස් කරමින් කණිෂ්ඨ කාන්ඩයද දිනා ගැනීමට සමත් විය.ප්‍රවීනයන්ගේ කාන්ඩය දිනා ගත්තේ ජපානයයි.

මෙවර ලෝක ශූරතා තරග සංචාරය සදහා ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය රුපියල් හැත්තෑ ලක්ෂයකට වැඩි වියදම් සැළැස්මක් ක්‍රීඩා ඇමැතිවරයා වෙත ඉදිරිපත් කර සිටියත් එය ප්‍රතික්ෂේප විය.එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්11දෙනා සදහා පමණක් රුපියල් ලක්ෂ18 කට ආසන්න වන ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය එකගවී සිටියේය.

මේ අතර තරගාවලියට සමගාමිව එහිදී පැවැති ලෝක කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ මහ සමුළු වාරය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති රන්දීර් රුද්‍රිගු හා එහි ලේකම් කපිල කුමාර යන මහත්වරු සහභාගි වූහ.

එහිදී ඔවුන්ට ලබන 2026 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන දකුණු ආසියානු කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලිය සදහා ලෝක සම්මේලනයේ සහය ලබාදීමට එහි සභාපති ස්පාඤ්ඤ ජාතික රැෆාල් සන්ටොන්ජා මහතා එකග වූ බව කපිල කුමාර මහතා පවසයි.

ඒ අතරම කායවර්ධන සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශය කළ දැනුවත් කිරීමට අනුව වසර 2026 සදහා රුපියල් කෝටි තුනකට වැඩි ජාතික හා ජාත්‍යන්තර තරග වියදම් සැළැස්මක් අමාත්‍යාංශයට මේ වන විටත් යොමු කර තිබේ.
   

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන සිව් වැනි ස්ථානයට පත් නිපුන ලක්ෂාන් හා හය වැනි ස්ථානයට පත් චාමර ඩයස් කොහොබාර් නුවරදී ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති රන්දීර් රුද්‍රිගු හා එහි ලේකම් කපිල කුමාර යන මහත්වරු සමග.


අදහස් (0)

ශ්‍රී ලංකාවේ පදක්කමක බලාපොරොත්තු බිඳවැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.