Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාසල් බලධාරීන් අසාධාරණ සෙල්ලමක

පාසල් බලධාරීන් අසාධාරණ සෙල්ලමක

ශනුක අරවින්ද - 2016 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධ්‍යාපන අමාත්‍යංශය කාලෙන් කාලයට ප‍්‍රකාශයට පත්කරන උපදෙස් ලිපි හේතුවෙන් ඇතැම් පාසල්වල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට තරගවලට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී ඇති බවට දෙමව්පියෝ සහ පුහුණුකරුවෝ චෝදනා කරති.

පාසල්වල ඇතැම් ක‍්‍රීඩා බාර ආචාර්යවරු සහ පුහුණුකරුවෝ දරුවන්ගෙන් පළි ගැනීමේ මෙවලමක් ලෙස ද මෙම ලිපි යොදාගන්නා බව පසුගිය කාලයේ සිදුවීම් ලෙස බැලීමේදී පැහැදිළි වේ.

අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය මාර්තු මස ඊ.ඩී./9/15/2/2/පොදු යන අංකය යටතේ ‘දේශීය හා විදේශීය ක‍්‍රීඩා තරගාවලි පැවැත්වීම සහ තෝරා ගැනීමේ පරීක්‍ෂණ, පුහුණු කදවුරු, සාකච්ඡ හා සම්මන්ත‍්‍රණ ස`දහා පාසල් ළමුන් සහභාගි කිරීම’ යන ශීර්ෂය යටතේ පාසල් බලධාරීන්ට යොමු කර ඇති මෙම ලිපිය උපයෝගි කරගෙන පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහලේ පිහිනුම් ක‍්‍රීඩිකාවන් ජාතික ජල ක‍්‍රීඩා සංගමය සංවිධානය කළ තරගාවලියකට ඉදිපත් නොකළ බවට චෝදනා එල්ල වේ.

ජාතික ජල ක‍්‍රීඩා සංගමය පසුගිය 8 වැනිදා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වූ සමස්ත ලංකා වයස් කාණ්ඩ සහය පිහිනුම් තරගාවලියට මෙම ලිපිය අනුව ක‍්‍රීඩිකාවන් සහභාගි කළ නොහැකි බවට පවසමින් එම විදුහල් බලධාරීන් ක‍්‍රීඩිකාවන් සහභාගි නොකළ බවට දෙමව්පියෝ චෝදනා කරති.

පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහල එම තරගාවලියට ක‍්‍රීඩිකාවන් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් පානදුර ජල ක‍්‍රීඩා සමාජය සහ පානදුර ලීඞ්ස් ජල ක‍්‍රීඩා සමාජය මගින් එම ක‍්‍රීඩිකාවන් තරගාවලියට සහභාගි වී තිබේ. එහිදී ලීඞ්ස් ජල ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ ක‍්‍රීඩිකාවන් කැපී පෙනෙන දස්කම් දැක්වූ බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන පාසල් ඇතුළු කණ්ඩායම් 52 ක් සහභාගි වී ඇති අතර ඉන් කණ්ඩායම් 36 ක් පාසලේ නමින් ඉදිරිපත්ව තිබුණි.

අධ්‍යාපන අමාත්‍යංශය එවැනි ලිපි යොමු කර නීති පන්වන්නේ නම් ඒවා ක‍්‍රියාත්මක වන්නේදැයි සොයා බැලිය යුතු බව දෙමාපියෝ මෙන්ම පුහුණුකරුවෝද කියති. එසේ නොවේ නම් ඇතැම් පාසල්වල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අවස්ථාව අහිමිවී යෑම වැලැක්විය නොහැකි බවද ඔව්හු පෙන්වා දෙති.

පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහල මෙම වසරේ ශ්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමයේ ලියාපදිංචි වී ඇති බව ද වාර්තා වේ. එම පාසලේ පිහිනුම් බාර ගුරුවරියකට සම්බන්ධ යැයි කියන පුහුණුකරුවකුගේ පුහුණුව නොලබන ක‍්‍රීඩිකාවන් අඩපණ කිරීමේ ක‍්‍රියාවලියක් ලෙස මෙවැනි ලිපි ඉදිරිපත් කරමින් තරගාවලිවලට ඉදිරිපත් නොකිරීම පුරුද්දක් කරගෙන සිටින බවට චෝදනා එල්ල වේ.  

මේ පිළිබදව කළ විමසුමකදී එම ලිපියට අධ්‍යාපන ලේකම්වරයා වෙනුවෙන් අත්සන් තබා ඇති අතිරේක ලේකම් (පාසල් කටයුතු) ඒ. එස්. හේවගේ මහතා පැවසුවේ ඒ පිළිබදව පැවසීමට තමන් නොදන්නා බවත් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂවරයාගෙන් විමසිය යුතු බවත්ය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ උපාලි අමරතුංග මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ ඇතැම් පුද්ගලයින් පාසල් දරුවන් හිතුමතේ තරගාවලියවලට ගෙන

යෑම වැළැක්වීම සදහා එවැනි ලිපියක් යොමු කළ බවයි.

‘‘පාසල් දරුවන්ගේ ආරක්‍ෂාවටයි මේ පිලිය අපි යොමු කරලා තියෙන්නේ. එවිට අපෙන් අවසර ගන්නා තරගාවලියකට පමණයි විදුහල්පතිවරුන්ට දරුවන් යොමු කරන්න පුළුවන්’’

‘‘මෙම තරගාවලිය සදහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවසර ලබාගෙන නෑ. ඕනෑම සංගමයක් කරන තරගාවලියක් අපෙන් අවසර ලබාගෙන තිබෙනවා නම් දරුවන් සහභාගි කරවීමට ගැටලූවක් නෑ’’ අමරතුංග මහතා වැඩි දුරටත් පැවසීය.

මේ පිළිබදව කළ විමසුමකදී පාසල් ජල ක‍්‍රීඩා සංගමයේ ලේකම් උසස් නිලධාරියකු පැවසුවේ එම තරගාවලියට සාමාන්‍ය ක‍්‍රීඩා සමාජ ලෙස සහභාගි වන වුවද පාසල් රැසක් ද සහභාගි වී ඇති බව පිළිගන්නා බවයි.

‘‘පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහලේ ක‍්‍රීඩිකාවන්ගේ පෞද්ගලික පුහුණුකරුවන් අතර ප‍්‍රශ්නයක් තිබෙන බවට මම දැනුවත්ව ඉන්නේ. ඒ සදහා මා ඉදිරි සති කීපය තුළ පියවරක් ගන්නවා’’ යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.  

කෙසේ වෙතත් ඇතැම් පුද්ගලයන් අධ්‍යාපන අමාත්‍යංශයේ විවිධ අධ්‍යක්‍ෂවරුන්ගෙන් අවසර ලබාගෙන පසුගිය කාලය පුරා පාසල් ක‍්‍රීඩකයන් විදේශ සංචාරවලට ද රැගෙන ගොස් තිබිණ. එහි ඇතැම් අවස්ථාවල අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින් ද එම පෞද්ගලික සංචාරවලට සහභාගි වූ බවටද වාර්තා විය.

●●●
 

 


අදහස් (0)

පාසල් බලධාරීන් අසාධාරණ සෙල්ලමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.