Last Update  :  2025-09-11 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පානදුර ක්‍රීඩා සංකීර්ණය යුගයේත් ජාතියේත් අවශ්‍යතාවක්

පානදුර ක්‍රීඩා සංකීර්ණය යුගයේත් ජාතියේත් අවශ්‍යතාවක්

editorial - 2025 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීට වසර 30 කට පමණ ඉහතදී උසස් මට්ටමේ ක්‍රීඩාංගණයක් සඳහා වෙන්කරන ලද නමුත් මෙතෙක් ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා තිබෙන පානදුර මෝදරවිල ප්‍රදේශයේ පිහිටි අක්කර 10 කට ආසන්න ඉඩම සම්බන්ධයෙන් මේ දක්වා කිසිවකු සාධාරණ තක්සේරුවක යෙදී ඇත්ද යන්න සැක සහිතය. 

ක්‍රීඩාංගණ සංකීර්ණයක් සඳහා මෙම බිම් කොටස වෙන්කරන ලද්දේ 1993 ඔක්තෝබර් මාසයේදීය. එය අක්කර 16 කට වැඩි ඉඩකින් යුත් බිම් කොටසකි. එම දූරදර්ශී තීරණය ගන්නා ලද්දේ එවකට සිටි පානදුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා විසිනි. දොස්තර නෙවිල් ප්‍රනාන්දු යනු වෛද්‍ය විද්‍යාව සහ තාක්‍ෂණය පිළිබඳ දකුණු ආසියානු ආයතනය හෙවත් සයිටම් රෝහලේ (වර්තමානයේදී දොස්තර නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහල) නිර්මාතෘවරයාය. 

එතැන් සිට දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ මෙම වටිනා ඉඩමේ කොටස් විවිධ පාර්ශ්වයන්ට දොළ පිදේනි දීමෙන් පසුව දැනට ඉතිරිව ඇත්තේ අක්කර 10 කට ආසන්න බිම් කඩකි. 2019 වර්ෂයේදී කිසියම් පාර්ශ්වයක් විසින් ඉතිරි අක්කර 10 ත් ගිල දැමීමට සූදානම් වූ අවස්ථාවේදී වහාම ඉදිරිපත් වූ ඊෂණ ප්‍රනාන්දු සහ ජයලාල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ප්‍රමුඛ ‘මෝදරවිල ක්‍රීඩාංගණය සුරැකීමේ සංවිධානය’ විසින් මෙම වටිනා ඉඩම වෙනතක යා නොදී මෙතෙක් රැකගන්නා ලදි.  

සති තුනක පමණ කාලයක් ඇතුළත ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාත්, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක මහතාත් පානදුරේටම ගොසින් පරීක්‍ෂා කර බැලුවේත් මෙම ඉඩම් කොටසය. 

මෙම බිම් කොටසේ සැබෑ වටිනාකම රැඳී ඇත්තේ ඊට ඇතුළත් වන භූමි ප්‍රමාණය මත නොව, එහි භූගෝලීය පිහිටීම මතය. 

 

 

මෙම බිම් කොටසේ මීටර 400 ක ධාවන පථයක් සහිතව ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා කැමැත්ත පළකර සිටියේය. සුගත් තිලකරත්න යනු මීටර 400 ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් කෙළිබිමටත් ගිය ක්‍රීඩකයකු වන බැවින්, අන්තර්ජාතික මට්ටමේ කෘතිම ධාවන පථයක් සහිතව, මීටර 400 ධාවන පථයක වටිනාකම අතැඹුලක් සේ දන්නා අයෙකි. 

සුගත්ගේ නිරීක්‍ෂණයෙන් දෙසතියකට පසුව (සැප්තැම්බර් 2 වැනිදා) එහි ගිය ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ මෙන්ම ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක මහතාගේත් නිගමනය වූයේ එය ක්‍රීඩා සංකීර්ණයකට සුදුසු ස්ථානයක් බවයි. භූමිය සම්බන්ධ ගැටළු කිහිපයක් නිරාකරණය කරගත හැකිනම් කිසිදු පැකිළීමකින් තොරවම ඒ සඳහා මුල පිරිය හැකි බවටත් දෙදෙනාම එකඟ වූහ. වෙනකක් තබා ක්‍රීඩාංගණ සංකීර්ණයේ සම්පූර්ණ පරිපාලනය සහ නඩත්තුව බාරගැනීමටත් සුබ්‍රමනියම් මහතා කැමැත්ත පළ කළේය. 

සුරේෂ් සුබ්‍රමනියම් සහ ප්‍රියන්ත ඒකනායක මහත්වරුන් ඒ සඳහා එකඟ වූයේ කරුණු ගණනාවක් සැලකිල්ලට ලක්කිරීමෙන් පසුවය. ඒ සෑම කරුණක්ම ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් හෙට උපදින දරු දැරියන්ගේත් අභිවෘද්ධිය සම්බන්ධ කාරණාය. 


ක්‍රීඩා සංකීර්ණයක වටිනාකම

මෝදරවිල බිම් කොටසේ මීටර 400 ක ධාවන පථයක් සහිත ක්‍රීඩාංගණයක් පමණක් ඉදිකිරීම, ‘යූටොන්ග්’ වර්ගයේ බසයක් ඇති අයෙක් එය පදවාගෙන තනිවම මඟුල් ගෙදරක යාමට සමාන කළ හැකිය. මෙම බිම්කොටසේ භූගෝලීය පිහිටීම අනුව එය අමිල වටිනාකමක් ගෙන එයි. 

වර්තමානයේදී ක්‍රීඩාව යනු ක්‍රීඩකයන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේ ද, සහාය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ද වෘත්තියයි.

 

 

එලෙසින්ම, කිසියම් ක්‍රීඩාවක වෘත්තීමය නිපුණතාවේ මෙන්ම අභිමානයේත් කතාන්දරයයි. එය රටක සහ ජාතියක අභිමානය පිළිබඳව විය හැකිය. පානදුරයෙන් බිහිවූවත්, අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩා පෞරුෂයන් හිමි ජයමිණි ඉලේපෙරුම, ඉනේකා කුරේ, චින්තක ද සොයිසා, චාමර සිල්වා සහ කමිල් මිෂාර වැනි අය ගැන සමස්ත ශ්‍රී ලාංකිකයන්ම ආඩම්බර වන්නේ එබැවිනි.

ක්‍රීඩා කිහිපයකටම අවශ්‍ය පහසුකම් රැසක් එකම ස්ථානයක ඇත්නම් එය ක්‍රීඩා සංකීර්ණයකි. මෝදරවිල පිහිටි බිම් තීරුව ඒ වෙනුවෙන් ලැබුණු අගනා ත්‍යාගයකි. එහි මීටර 400 ක කෘතිම ධාවන පථයක්, මීටර 100 ක ධාවන පථයක් සහ ක්‍රීඩාගාරයද ඉදිකළ හැකිනම් අනෙක් ක්‍රීඩා සඳහා පහසුකම් සැපයීමට ඉඩකඩ සොයාගැනීම එතරම් අසීරු නොවේ. 

සැබෑ අවශ්‍යතාවක් තිබේ නම් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට සෑම අතින්ම සමාන ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකළ හැකි ස්ථානයක් ද මෝදරවිල සිට කිලෝමීටරයක් ඇතුළතදී සොයාගත හැකිය. 

වසර 63 ක් පැරණි සුගතදාස ක්‍රීඩාංගණය සහ දියගම හැරුණු විට ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සඳහා තුන්වන කෘතිම ධාවන පථයක් නොමැත. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය ළඟා වීමට තරමක් අසීරු, කොළඹට දුරින් පිහිටි ක්‍රීඩාංගණයක් වන අතර එහි යාමට ප්‍රවාහන පහසුකම් සොගැනීම වෙනමම අභියෝගයකි. 

අන්තර්ජාතික තත්ත්වයන්ට අනුකූල මීටර 400 ධාවන පථයක් සහිතව, පානදුර ක්‍රීඩාංගණය ඉදිකෙරෙන්නේ නම් දෙහිවල, හෝමාගම, හොරණ, ඉංගිරිය, බුලත්සිංහල, මතුගම, අගලවත්ත, බේරුවල සහ අලුත්ගම වැනි ප්‍රදේශවල සෑම ක්‍රීඩකයෙකුටම සහ ක්‍රීඩිකාවකටම එය භාවිතා කිරීමට හැකි වනු ඇත. ඒ සමඟම, සෑම ආකාරයේම ක්‍රීඩක ක්‍රීඩිකාවක් සමඟ දැනුම බෙදා ගත හැකි පුහුණුකරුවන් 100 කට වැඩි පිරිසක් මෙම ක්‍රීඩා සංකීර්ණය වටා රොක්වනු ඇත. 

 

තවත් අතකින් බලන කල්හි පානදුර නගරය කදිම ගමනාගමන කේන්ද්‍රස්ථානයකි. මීගමුව, කුැරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල, මහනුවර, තෙල්දෙණිය, නුවරඑළිය, මඩකලපුව, බදුල්ල, ඇඹිලිපිටිය, සූරියවැව හෝ මාතර සිට තනි බසයකින් පානදුරයට පැමිණිය හැකිය.  අපසු ගමනද තනි බසයකින් කළ හැකිය. දුම්රියෙන් ගමන් කරන්නේ නම්, පුත්තලම, මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය හෝ මඩකලපුව සිට තනි දුම්රියකින් පැමිණ, කොළඹ කොටුවේ සිට එන සීඝ්‍රගාමී දුම්රියකින් විනාඩි 30 ක් ඇතුළත පානදුරයට පැමිණිය හැකිය. බෙලිඅත්තේ සිට නම් තනි දුම්රියකි. එබැවින්, මෙම ක්‍රීඩාංගණයේදි ජාතික තරඟයක් පැවැත්වුවද, ප්‍රවාහන ගැටළුවක් කිසිදා ඇති නොවේ.

පසුගිය අගෝස්තු මස අවසන් සතියේදී පැවැති 49 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේදී, සියලුම මලල ක්‍රීඩා ඉසව් පැවැතියේ ගාල්ලේ දඩල්ල ක්‍රීඩාංගණයේ තණකොළ සහිත ධාවන පථයකදීය. මේ ක්‍රිස්තු වර්ෂයෙන් 2025 වැනි වසරයි. එහෙත් ශ්‍රී ලංකාවට තවමත් ඇත්තේ කෘතිම ධාවන පථ දෙකක් පමණක් වීම මහත් ලැජ්ජාවට කාරණයකි. වසර 2000 න් මෙපිට සිටි සියලුම ක්‍රීඩා ඇමතිවරුන් පමණක් නොව, ක්‍රීඩා අධ්‍යක්‍ෂවරුන් ද මේ දු:ඛිත තත්ත්වයට වගකිව යුතුව තිබේ. 

 

 

යම් හෙයකින් ගාල්ල දඩල්ල ක්‍රීඩාංගණයේදී කිසියම් ක්‍රීඩකයකු මීටර් 100 හෝ 200 ඉසව් තත්පර 10.00 කට හෝ තත්පර 20.00 කට අඩුවෙන් නිම කළා නම්, ඔහුට කුමක් සිදුවිය හැකිව තිබිණිද ? ඔහුට මුහුණදීමට සිදුවන්නේ “තණකොළ සහිත ධාවන පථයක දිව ගිය නිසා වාර්තාව අනුමත කරන්න බෑ” යන පදනම මත ඔහුගේ වාර්තාව ඉවත දැමීමේ ඉරණමටය. 

1990 අගෝස්තු මාසයේදී ඇඹිලිපිටියේ පැවැති ජාතික ක්‍රීඩා උළෙලේදී එවැනි දෙයක් සිදුවිය. ඒ වන විට මීටර 100 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සටහන් වූයේ තත්ත්පර 10.50 ක් ආසන්නයේය. ඇඹිලිපිටියේදී මීටර 100 ඉසව්ව තත්ත්පර 10.10 කින් අවසන් කළ ශ්‍රියන්ත දිසානායක ඊට මාස දෙකකට පසුව චීනයේ බීජිං නුවරදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 100 න් ලෝකඩ පදක්කමත් මීටර 200 න් රිදී පදක්කමත් දිනාගත්තේය. එහෙත් ශ්‍රියන්තගේ ඇඹිලිපිටියේ ධාවනය සම්බන්ධයෙන් බොහෝ වාද විවාද ඇතිවිය. ඇතැමෙක් කීවේ එය සුළඟේ ආධාරයෙන් කළ ධාවනයක් බවයි. 

1990 තරම ඈතකදී මලල ක්‍රීඩා තරග සඳහා යොදාගන්නා සුළං මාපක ශ්‍රී ලංකාවේ නොතිබිණ. විද්යුත් කාලඝණක යන්ත්‍ර ද ශ්‍රී ලංකාවේ නොතිබූ බැවින් දිසානායකට වාර්තාව පිරිනැමීමට මලල ක්‍රීඩා බලධාරීන් තීරණය කළද වසර දෙක තුනකට පසුව ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද විශේෂ කමිටුවක නිර්දේශය මත එම වාර්තාව අවලංගු කරන ලදි. 

එවැනි අවාසනාවන්ත සිදුවීමකට යළි ඉඩ නොතබා, ශ්‍රී ලංකාවේ තුන්වැනි කෘතිම ධාවන පථය ඉදිකිරීම අද දවසේ සිටින ක්‍රීඩා බලධාරීන්ගේත් ඇමතිවරයාගේත් යුතුකමකි. වගකීමකි. විශේෂයෙන්ම, වසර 1990 තරම් ඈතකදී පුහුණුවීම් සඳහාම ධාවන පථයක් සොයා, නෝර්ටන් බි්‍රජ් (විදුලිපුර) සිට හැටන් දක්වා කළ දුෂ්කර ගමන ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතාට අමතක වන්නට කාරණාවක් නැත. 


ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ කේන්ද්‍රස්ථානය

ශ්‍රී ලාංකීය සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය ලෙසින් මහනුවර නගරය සැලකේ. අතීත උරුමයේ කේන්ද්‍රස්ථානයක් ලෙසින් අනුරාධපුරය සහ පොළොන්නරුව සැලකේ. වසර 35 කට එපිට නොතිබුණත් දැන් ශ්‍රී ලංකාවට ක්‍රීඩා සංස්කෘතියක් තිබේ. එහෙත් ක්‍රීඩාවේ කේන්ද්‍රස්ථානයක් නැත. පානදුරය ඊට හොඳම තැනයි. 

පානදුරය ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ කේන්ද්‍රස්ථානයක් කිරීමේ විශාල විභවයක් පවතී. ඒ සඳහා වන බලවත්ම සාධකය එහි භූගෝලීය පිහිටීමයි. 

මෝදරවිල ක්‍රීඩාංගනයේ සිට මීටර් 100 ක් ඇතුළත, සම්පූර්ණ මෙන්ම සහ ඉතාම හොඳ තත්ත්වයේ (රෝලන්ඩ් අබේරත්න) ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගනය ඇත. මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණයම මේස පන්දු ක්‍රීඩාවටත් භාවිතා කළ හැකිය. එතැනම, රාත්‍රී කාලයේ පවා ටෙනිස් ක්‍රීඩාවේ නිරත විය හැකි, විදුලි ආලෝකය සහිත, ටෙනිස් පිටි දෙකක් තිබේ. පානදුර පොලීසිය පිටුපස තවත් ටෙනිස් පිටි දෙකක්ම ඇතත් මේ වනවිට ඒවා වල්වැදී, මෝටර් රථ ගාල් කිරීම සඳහා යොදා තිබීම අපරාධයකි.

 

 

බැඩ්මින්ටන් සහ ටෙනිස් සහ ගොල්ෆ් යනු ක්‍රිකට් ක්‍රීඩාව මෙන් ඕනෑම ශ්‍රී ලාංතිකයකුට විශිෂ්ටත්වය කරා යා හැකි ක්‍රීඩා තුනකි. ක්‍රිකට් ක්‍රීඩාවේදී මෙන්ම බැඩ්මින්ටන් සහ ටෙනිස් යන ක්‍රීඩා දෙකේදීත් දස්කම් දැක්වීමේ තීරණාත්මක සාධකය වන්නේ අත් - නෙත් සහසම්බන්ධතාවයි. (Hand - Eye Coordination)

අවාසනාවකට මෙන්, වියදම් අධික වීම හේතුවෙන් පාසල් මට්ටමින් පහසුකම් නොමැතිකම නිසා බොහෝ දෙනෙක් ටෙනිස් හෝ බැඩ්මින්ටන් ක්‍රීඩාවට අත නොතබති. ඒ වෙනුවෙන් පහසුකම් සහිත ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකළ හැකිනම්, එතැන් සිට කිලෝ මීටර 25 ක දුරකින් යුත් අඩකවයයක පිහිටි සියලුම පාසල් දරුවන්ට මේ ක්‍රීඩා දෙකට අත තැබිය හැකිය. 

මෝදරවිල ක්‍රීඩාංගණයට අල්ලපු වැටේ පිහිටි පානදුර ශ්‍රී සුමගල විද්‍යාලයේ අපූරු පිහිනුම් තටාකයක් තිබේ. මීටර 25 ක දිගින් යුත් එම පිහිනුම් තටාකයේ මංතීරු 6 කි. එහෙත් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සිට ගාල්ල දක්වාම තරග පැවැත්විය හැකි මීටර 50 පිහිනුම් තටාකයක් නැත. 

 

කිසිවකු මේ කාර්යයට අතගසන්නේ නම්, අන්තර්ජාතික මට්ටමට අනුකූල වන පරිදි පිහිනුම් තටාකයක් පමණක් නොව සංදර්ශන පිහිනුම් සහ දිය පිනුම් (Diving) සඳහාත් සුදුසු තටාක දෙකක් ඉදිකිරීමට ඉඩක් ද මෝදරවිලම තිබේ. 

පානදුර අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 47 කි. බේරුවල (43), දොඩංගොඩ (25) සහ කළුතර (34) අධ්‍යාපන කලාප තුනත් එක්වූ කල්හි කළුතර අධ්‍යාපන කලාපයේ පාසල් 149 කි. පානසුරයේ ඉදිකෙරෙන පහසුකම් මේ සියලු පාසල්වලින් බිහිවන දරුවන්ටය.
 
නැවතත් සිහිපත් කළ යුත්තේ පානදුර යනු ගමනාගමන කේන්ද්‍රස්ථානයක් බවයි. 

 

 

 

අද හෙට නොව, තවත් වසර 15 කින්වත් අපට වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයන් බිහිකළ හැකිනම් එක තරගාවලියක් ජයගැනීමෙන් ඩොලර් මිලියන ගණනින් ශ්‍රී ලංකාවට ගෙන ආ හැකිය. ටෙනිස් ලෝකයේ ග්‍රැන්ඩ් ස්ලෑම් ඉසව් වන විම්බල්ඩන්, ප්‍රංශ, ඕස්ටේ්‍රලියානු හෝ එක්සත් ජනපද විවෘත ශුරතාවක් දිනාගත හැකිනම් ත්‍යාගය වශයෙන් ඩොලර් මිලියන 4 ක් නැතහොත් 5 ක් දක්වා දිනාගත හැකිය. තරගාවලියට ඇතුළත් වන ක්‍රීඩකයන් 128 දෙනාගෙන් අයකු වුවහොත් හිමිවන මුදල ඩොලර් 100,000 ඉක්මවයි. 

ගොල්ෆ් ක්‍රීඩාව ගැනත් කියන්නට ඇත්තේ මේ කරුණුමය. දැනටමත් ශ්‍රී ලංකාවේ වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයෝ තුන් හතර දෙනෙක්ම සිටිති. 

වෘත්තීමය ක්‍රීඩා පෞරුෂයක් ගොඩනඟා ගැනීමට ශ්‍රී ලාංකිකයන් උත්සාහ කරන්නේ නම් ඔවුන්ගේ මව්වරුන් හෝ බිරින්දෑවරුන් ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග යැවීම අවශ්‍ය නොවේ.

පානදුර ක්‍රීඩා සංකීර්ණය ඉදිකරන්නේ නම්, එහි සිට මීටර් 100ක් ඇතුළත, (යුනිචෙලා ආයතනයේ) කදිම බොක්සිං වළල්ලක් තිබේ. වසර 2009 සහ 2011 අතර කාලය තුළ, එහිදී අන්තර්ජාතික බොක්සිං තරගත් පවත්වන ලදි. ඊට රටවල් 7 ක් හෝ 9 ක් සහභාගී වී තිබුණි.

පානදුර ක්‍රීඩා සමාජය සහ පොලිසිය පිටුපස පළමු පෙළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඇතත් එහි වත්මන් තත්ත්වය පිළිබඳව නම් සෑහීමකට පත්විය නොහැකිය. මෙම ක්‍රීඩාංගණයේදී වරින් වර අන්තර්ජාතික තරගත් පැවැත්වෙන නමුත් ක්‍රීඩාංගණය නගර සභාවට අයත්ව තිබියදී තණතීරුවට පානදුර ක්‍රීඩා සමාජය අයිතිවාසිකම් කියයි. 

මේවා පහසුවෙන් විසඳාගත හැකි ගැටළුය. එය වඩා හොඳ ක්‍රීඩාංගණයක් බවට පත් කිරීමට, අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පානදුර නගර සභාව ගිවිසුමකට බැඳීමයි. එමගින් ක්‍රීඩාංගණයේ තත්ත්වය වඩාත් උසස් මට්ටමකට ගෙන ආ හැකි අතරම කළුතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් දරුවන්ට වඩාත් හොඳ තත්ත්වයේ ක්‍රීඩාංගණයකදී තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව කළ හැකිවනු ඇත. ඒ සමගම ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල්වල විදුහල්පතිවරුන් සැනසුම් සුසුම් හෙළනු ඇත. 


ජල ක්‍රීඩා
පානදුර පාලම මත සිටගත් කල්හි, දකුණු පැත්තෙන්, අවම වශයෙන් කිලෝමීටර 4 ක් දුරට එක එල්ලේ දැකගත හැකි ජල තලාවකි. වම් පැත්තෙන් තවත් කිලෝමීටරයක දුරක් දැකගත හැකි ජල තලාවකි. එක දිගට කිලෝමීටර 5 ක තරම් දුරට විහිදෙන අලංකාර ජල තලයක් යනු සියලුම ආකාරයේ ජල ක්‍රීඩා සඳහා කදිම කෙළිබිමකි. 

අධිවේගී ජල යාත්‍රා පැදීම (Jet Ski), දියමත ලිස්සා යාම (Water Ski), සුළං සැරිය (Wind Surfing), ඔරු පැදීමේ තරග (Rowing) යන මේ කොයිවාත් පානදුර ගං දියමත කළ හැකිය. ඒ සියල්ල තිබියදී, ඉතාම පහසුවෙන් එහිදී සැතපුම් 2 විවෘත පිහිනුම් තරගයක් පැවැත්විය හැකිය. 

 

 

මේ සියල්ලටම අවශ්‍ය වන ප්‍රේක්‍ෂකයන් පානදුර පාලම මත සිටිමින් ක්‍රිඩාව නැරඹීම අනුග්‍රාහකයන්ගේ බලාපොරොත්තුවයි. කොතැනදී කොහොම කළත්, ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩාවට නැත්තේ ද ප්‍රේක්‍ෂකයන්ගේ සහභාගිත්වයයි. 

පානදුර ගං ඉවුරේ එක ඔරු පැදීමේ සමාජයක් ආරම්භ කළහොත්, ඉතා ඉක්මනින් තවත් බොහෝ දෙනා එහි ඇදී එනු ඇත. විශේෂයෙන්ම ප්‍රේක්‍ෂකයන්ගෙන් දුරස්ථව, පිළියන්දල දම්පේ සහ මොරටුව ඉඳිබැද්ද ඉසව්වේ තම රුවල් හසුරුවන ක්‍රීඩකයෝ, වැඩි අවධානයක් දිනාගනු රිසියෙන් පානදුර පාලම අසළට එනු නිසැකය. කොළඹ දියවන්නා ඔයේ ඔරු පැදීමේ නිරත වන්නන්ට පානදුර පාලම මතට ඇවිදින් දෙපස බලන ලෙස ආරාධනා කරමු.
 

 


පානදුරේ පිහිටි සුන්දර වෙරළ තීරය, ක්‍රීඩාව වෙනුවෙන් අපූරු ආයෝජන අවස්ථා ගෙන එයි.  වෙරළ වොලිබෝල්, වෙරළ රග්බි පමණක් නොව, වෙරළ ආසන්න මුහුදේ රුවල් ඔරු තරග හෝ සුළං සැරි (Wind Surfing) තරගත් පැවැත්වීමේ හොඳ වටාපිටාවක් තිබේ.

නිල නොවන වශයෙන් දැනගන්නට ඇති පරිදි 2025 ජාතික වෙරළ වොලිබෝල් තරඟාවලිය පානදුරේදී පැවැත්වීමට සැලසුම් කෙරෙමින් පවතී. 

පානදුර ක්‍රීඩාංගණ සංකීර්ණය ඉදිකිරීමට කැමැත්ත පළකිරීමේදී සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඉස්මතු කළ කාරණා කිහිපයක් තිබිණ. ඒවා නිරාකරණය කරගැනීම අපහසු නොවේ. ඒ සම්බන්ධයෙන් විසඳුම් සොයා යාමේදී සුවිශේෂී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කළ හැකිය. 

 

 

 

 

----------------------------------------------------------------------------------------------------------------------------------------------

නොමෑඩ්ස් පිටිය ගිලගෙන නෙළුම් පොකුණ බිහිවිය. යුද හමුදා රග්බි පිටිය ගිලගෙන ෂැංග්‍රිලා හෝටලය ඉදිවිය. යුද හමුදා මූලස්ථානය තිබූ බිම් පෙදෙසේ අද ඇත්තේ අයි.ටී.සී. රත්නදීප සහ වන් ගෝල් ෆේස් සාප්පු සංකීර්ණයයි. මේවා සියල්ලම කාලයේ තාලය අනුව, ව්‍යාපාරික අවශ්‍යතා මත පැන නැඟුණු ඒවාය. 

එහෙත් පානදුර ක්‍රීඩා සංකීර්ණය එසේ නොවේ. එය යුගයේ අවශ්‍යතාවයයි. රටේම අවශ්‍යතාවයයි. ක්‍රීඩාවේ බලය ඇති දෑත් මත රැඳී වගකීමයි. 

----------------------------------------------------------------------------------------------------------------------------------------------

කවුරුන් කළද පානදුර ක්‍රීඩා සංකීර්ණය නිමකරන්නා ඉතිහාසයට එක්වනු නිසැකය. වී.ඒ. සුගතදාස සහ ආර්. ප්‍රේමදාස නම් දෙකින් කියැවෙන්නේ එයයි. 1992 දක්වාම ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ලෙසින් හැඳින්වුණු ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට වත්මන් නම ලැබුණේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා දිවියෙන් සමුගැනීමෙන් පසුවය. 

මේ ජීවිත කාලයටම එකවරක් පමණක් ලැබෙන, ස්වර්ණමය අවස්ථාවකි. 
ඔබේ අත ඇති ග්‍රහණය නැති කර නොගැනීම මැනවි. 

- දමින්ද විජේසූරිය

 

අදහස් (0)

පානදුර ක්‍රීඩා සංකීර්ණය යුගයේත් ජාතියේත් අවශ්‍යතාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.