ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණයේදී (2015-17) විධායක සභාවේ සංයුතිය වෙනස් කරමින් සභිකයන් සිව්දෙනකු වැඩිපුර පත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් එම අවස්ථාවේ සභාවේ සිටි එල්ලේ සම්මේලනයේ හිටපු ලේකම් සිරිපාල රණසිංහ මහතා විරෝධය පළ කරමින් කතා කළ බවත් වාර්තා වේ.
එල්ලේ සම්මේලනයේ පැවැති නිලවරණයේදී (2015-17) සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් කුමාර ගුණරත්න මහතා නිතරගයෙන් පත්විය. කෙසේ වුවත් එහිදී සභාපතිවරයා හැරෙන්නට භාණ්ඩාගාරික ධුරයට කමල් පෙරේරා මහතාත්, සංවිධායක ලේකම් ධුරයට අසංක සංජීව ප‍්‍රනාන්දු මහතාත්, උප භාණ්ඩාගාරික ධුරයට ලයනල් ජෝතිරත්න මහතාත් නිතරගයෙන් පත්වූහ.
මෙවර නිලවරණයේදී විශේෂ සිදුවීම වූයේ නාමයෝජනා ඉදිරිපත් නොවීමෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති, උප සභාපති තනතුරු 3ක්, උප ලේකම් තනතුරු 3ක් හා විධායක සභික ධුර හතරක් ඇතුළුව තනතුරු ගණනාවක් හිස්ව පැවතීමය.
11 දෙනෙකුගෙන් සමන්විත විධායක සභාවට නාමයෝජනා හතක් පමණක් ඉදිරිපත්ව තිබීමෙන් තනතුරු කීපයක්ම හිස්ව තැබීමට සිදුවීමය.
නිමල් චන්ද්‍රසිරි, වැන්සස් බණ්ඩාර, තිලකානන්ද පෙරේරා, අනුර නිෂාන්ත, සරත් ක‍්‍රිෂාන්ත, මධුර පෙරේරා, නිහාල් ජයතිස්ස යන මහත්වරු විධායක සභාවට නාමයෝජනා ඉදිරිපත් කරමින් එම ධුර හතක් සඳහා නිතරගයෙන් පත්වූහ.
මේ අතර මෙවර ප‍්‍රධාන ලේකම් ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර ප‍්‍රතික්ෂේප වූ එල්ලේ සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකු වන සිරිල් පෙරේරා මහතා හිස්ව පවතින විධායක සභික ධුර හතරක් සඳහා තමන් ඇතුළු කිහිප දෙනකු පත් කරන ලෙස සභාවෙන් ඉල්ලීමක් කළ බවත්, ඊට නව සභාපතිවරයාගේද සහයෝගය පළවුණු බවත් වාර්තා වේ.
එහෙත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නැගී සිටි හිටපු ලේකම් සිරිපාල රණසිංහ මහතා, සිරිල් පෙරේරා මහතාගේ ඉල්ලීම සම්මේලන ව්‍යවස්ථාවට පටහැනි බවත්, පුරප්පාඩුවී පවතින විධායක සභික තනතුරු හතර පිරවිය යුත්තේ පාසල් සංගමයෙන් හා කාන්තා නියෝජනයෙන් බවත් පෙන්වා දී තිබේ.
එවිට සිරිල් පෙරේරා මහතා පවසා ඇත්තේ එසේ නම් දැනට ක‍්‍රියාත්මක විධායක සභික ධුර 11 හැරෙන්නට තවත් විධායක සභික ධුර කිහිපයක් ඇතුළත් කර තමන් ද ඊට ඇතුළත් කර ගත යුතු බවය.
එහිදී පාසල් සංගම් විධායක සභිකයන් හා කාන්තා විධායක සභිකයන් නාමික විධායක සභිකයන් ලෙස තබා ගනිමින් අලූතින් පත් කෙරෙන තමන් ඇතුළු විධායක සභිකයන්ට බලතල ලබාදීම ප‍්‍රමාණවත් බවත්, ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
එම අවස්ථාවේදී නව සභාපති සරත් කුමාර ගුණරත්න මහතා ද ඊට මනාපය පළ කිරීම තුළ සිරිල් පෙරේරා මහතා ඇතුළු විපුලසිරි සිල්වා, ඞී. චන්ද්‍රපාල හා ප‍්‍රදීප් කුමාර යන මහත්වරුන්ට නව විධායක සභික ධුර පිරිනමා තිබේ.
සම්මේලනයේ උපදේශකවරුන් පත්කිරීමේදී ද සිරිපාල රණසිංහ මහතා විරෝධය පළකිරීම නිසා ඔවුන් පත් කිරීම ද එහිදී අත්හිටුවා තිබේ. එහිදී යෝජනා වූ නන්දන පින්නපොල මහතාගේ සුදුසුකම් පිළිබඳව රණසිංහ මහතා ප‍්‍රශ්න කිරීමත් සමග උපදේශකවරුන් පත්කිරීම අත්හිටවූ බව ද දැනගන්නට ඇත.
මේ අතර කතාබහට ලක්වී ඇත්තේ එල්ලේ සම්මේලනයේ ව්‍යවස්ථාව අනුව නාමයෝජනා ප‍්‍රතික්ෂේප වූ අයට නැවත එම නිලවරණයේදීම වෙනත් තනතුරුවලට ඉදිරිපත් විය නොහැකි බවය.
තත්ත්වය මෙසේ තිබියදී භාණ්ඩාගාරික කමල් පෙරේරා වැඩබලන ලේකම්වරයා ලෙස පෙනී සිටීමට උත්සාහ දරන බවට ක්‍ෂේත‍්‍රයේ සමහරුන්ගෙන් චෝදනා එල්ල වී තිබේ.
එහෙත් ඉදිරියේදී විශේෂ මහසභා රැස්වීමක් කැඳවා නව ලේකම්වරයා ඇතුළු පුරප්පාඩු වී පවතින සෙසු තනතුරු වලට පත්කර ගැනීමට නියමිතය. ඒ පිළිබඳව විශේෂ සාකච්ඡවක් නව සභාපති සරත් කුමාර ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (17) පැවැත්වීමට නියමිතව තිබුණි.
ලේකම්වරයාගේ පත්කිරීමක් නොවූ බැවින් මෙවර එල්ලේ නිලවරණයට සමගාමීව පැවැති මහ සභාව ලේඛනගත කිරීම වෙනත් නිලධාරියකු සිදු කළ බවත් වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.