Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු වෙරළ ජුජුට්සු තරග අගෝස්තුවේ

ආසියානු වෙරළ ජුජුට්සු තරග අගෝස්තුවේ

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආත්මාරක්ෂක සටන් කලා කී‍්‍රඩා අතර ලොව ප‍්‍රචලිත ක‍්‍රීඩාවක් වශයෙන් සැලකෙන ‘ජුජුට්සු’ ආත්මාරක්ෂක සටන් කලාවේ ආසියානු ශූරතා තරගාවලිය පැවැත්වීමේ මහගු අවස්ථාවක් ශ‍්‍රී ලංකා ජුජුට්සු සම්මේලනයට හිමිව තිබේ. එම තරගාවලිය අගෝස්තු මස පළමු සතියේදී මීගමුව මුහුදු වෙරළේ පැවැත්වීමට නියමිතය.

ආසියානු රටවල් අතරින් ගැටුම්කාරී තත්ත්වයක් නොමැති රට ලෙසින් ශ‍්‍රී ලංකාව හඳුනාගෙන තිබීම නිසා ආසියානු කලාපයේ පවත්වනු ලබන පළමු ජුජුට්සු තරගාවලියේම සත්කාරක අවස්ථාව ශ‍්‍රී ලංකාවට ලබාදීමට තීරණය කළ බව ලෝක ජුජුට්සු සම්මේලනයේ උප සභාපතිවරයක මෙන්ම ආසියානු කලාප අධ්‍යක්‍ෂ සුරේෂ් ගෝපි මහතා පවසයි.

”ඉන්දියාවේ පැවැත්වුවොත් පාකිස්තානය මේ තරගාවලියට සහභාගිවෙන එක අවිනිශ්චිතයි. ඒ වගේමයි පාකිස්තානයේ පැවැත්වුවොත් ආරක්ෂාව පිළිබඳ ගැටළු තියෙනවා”

”බංග්ලාදේශය ගැන අවධානය යොමු කළොත් එහෙ වීසා ප‍්‍රශ්න. ඔය කියන කරුණු සියල්ලම සලකලා බැලූවහම මේ තරගාවලිය පවත්වන්න තියෙන හොඳම ස්ථානය ශ‍්‍රී ලංකාව කියලා අපි හඳුනගත්තා. අනික මෙහි තියෙන වාතාවරණය ඉතාමත් හොඳයි මේ වගේ තරගාවලියක් පවත්වන්න” යයි ගෝපි මහතා සඳහන් කර සිටියේය.

ජුඩෝ ක‍්‍රීඩාවේ මව් ක‍්‍රීඩාව වශයෙන් ජුජුට්සු ක‍්‍රීඩාව හැඳින්වෙන අතර එය මේ වන විටත් ලෝකයේ රටවල් 89 කම පැවැත්වෙන ක‍්‍රීඩාවකි. වසර 5000 කට වඩා ඉපැරණි ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ජුජුට්සු ක‍්‍රීඩාවේ මූලස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි අබුඩාබි නුවර පිහිටා තිබේ.

බරපන්තීන් යටතේ පැවැත්වෙනු ලැබෙන ජුජුට්සු ක‍්‍රීඩාව ප‍්‍රධාන වශයෙන් ක‍්‍රමවේදයන් 3 ක් යටතේ ක‍්‍රියාත්මක වන අතර සටන්, නේවාසා සහ ඩු ඕ එම ක‍්‍රමවේද වෙයි. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් පිළිගෙන තිබෙන ක‍්‍රීඩාවක් ද වන ජුජුට්සු ක‍්‍රීඩාවේ ආසියානු වෙරළ ජුජුට්සු තරගාවලිය සඳහා රටවල් 22 කින් තරගකරුවන් සහභාගිවීමට නියමිත වන බවද ගෝපි මහතා අවධාරණය කර සිටියි.

ජුජුට්සු  ක‍්‍රීඩාව ශ‍්‍රී ලංකාව තුල එතරම් ජනප‍්‍රිය ක‍්‍රීඩාවක් නොවූවද ඉකුත් වසරේ ඉන්දියාවේ පැවැති ජුජුට්සු තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් 5 ක් දිනා ගැනීමට සමත්වී තිබේ.

●●●
 

 


 

 


අදහස් (0)

ආසියානු වෙරළ ජුජුට්සු තරග අගෝස්තුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.