Last Update  :  2025-11-06 11:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු අර්බුදයක

ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු අර්බුදයක

editorial - 2025 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දමින්ද විජේසූරිය

ශ්‍රී ලංකාවේදීම පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අත පොවන මානයේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අර්බුද රැසකට මුහුණ දෙමින් සිටී. ඉක්මනින් විසඳුම් සොයාගත නොහැකි මෙම අර්බුද හමුවේ තේරීම් කමිටුව මෙන්ම ක්‍රිකට් බලධාරීහුද නිරුත්තර වී සිටිති. 

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 වශයෙන් ආකෘති තුනකින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන නමුත් ඒ ඒ ආකෘති තුනටම සරිලන ක්‍රීඩකයන් හිඟකම ප්‍රධානතම අර්බුදයයි. විස්සයි-20 ක්‍රිකට් තරග සඳහා සුදුසු ප්‍රවේගකාරී පිතිකරුවන් හෙවත් ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය (පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) 140 ඉක්මවන පිතිකරුවන් නොමැතිවීම එකකි. එනිසාම දසුන් ශානක සහ භානුක රාජපක්‍ෂ දෙදෙනාම නැවතත් කණ්ඩායමට කැඳවීමට සිදුවී තිබේ. 

සීමිත ඕවර තරග සඳහා නායකයකු සොයාගැනීමේ අර්බුදයටත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මුහුණ දී සිටී. මෙම අර්බුදය සඟවාගැනීමට විවිධ ප්‍රතිකර්ම යොදාගන්නා නමුත් ඒවායින් ස්ථිර ප්‍රතිඵල නොලැබෙන බවත් තේරීම් කමිටු නිලධාරීහු සක් සුදක් සේ දනිති. 

ක්‍රිකට් ක්‍රීඩාවේදී ජාතික තේරීම් කමිටුව කිසිදු අවස්ථාවක ප්‍රශංසාවට ලක්වන කණ්ඩායමක් නොවේ. ජාතික තේරීම් කමිටුව ප්‍රසිද්ධියේම අගය කිරීමට ලක්වූයේ නම් ඒ 1996 ලෝක කුසලාන තරගාවලිය නිමාවේදී මිස ඉන් පසුව නොවේ. එහෙත් තරගයක් පරාජය වූ සැණින් ජාතික තේරීම් කමිටුවට එල්ල වන ඇණුම් බැණුම් අපමණය. එම තත්ත්වය හොඳින්ම වටහාගෙන සිටින නමුත් උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව, තම අකීකරු පුතාගේ වැරදි සඟවාගෙන ඇණුම් බැණුම් සමග අපකීර්තියම බාරගන්නා පියකුගේ භූමිකාවට මුහුණ දී සිටී. 

මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධානතම කාරණාව වන්නේ ක්‍රීඩකයන්ගේම අඩුව මිස අනෙකක් නොවේ. ඉතාම සරළ වශයෙන් කියතොත්, අන්තර්ජාතික ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම අනුව එක් එක් ආකෘතියේ හොඳම පිතිකරුවන් 30 දෙනා අතර සිටින්නේ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනකු පමණි. එහෙත් ඔවුන්ගෙන් පළමු පිතිකරුවන් 05 දෙනා අතරට එක්ව සිටින්නේ පැතුම් නිස්සංක පමණි. 

කමිඳු මෙන්ඩිස් (ටෙස්ට් - 06), චරිත් අසලංක (එක්දින - 07), පැතුම් නිස්සංක (විස්සයි-20 - 04) සහ කුසල් ජනිත් පෙරේරා (විස්සයි-20 - 09) මෙම පිතිකරුවෝ සිව් දෙනාය. 

හොඳම පන්දු යවන්නන් 30 දෙනා අතර සිටින ශ්‍රී ලාංකිකයන් දෙස බැලුව හොත් හොඳම ටෙස්ට් පන්දු යවන්නන් අතර කිසිදු ශ්‍රී ලාංකිකයකු නැත. එක්දින පන්දු යවන්නන් අතර මහීෂ් තීක්‍ෂණ (04) සහ වනිඳු හසරංග (10) වැනි ස්ථාන වල සිටිති. විස්සයි-20 පන්දු යවන්නන් අතරේ වනිඳු හසරංග (04) සහ නුවන් තුෂාර (06) සිටිති. 

කණ්ඩායමක් වශයෙන් ගත් කල්හි, තරගාවලියක් ජයගැනීමට මෙම තත්ත්වය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. 

සීමිත ඕවර නායකයා වන චරිත් අසලංක දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් විකල්පයක් සොයා ගැනීමට තේරීම් කමිටුවට සිදුවී ඇතත් ඒ වෙනුවෙන් ඇති ආසන්නතම විකල්පය දසුන් ශානක වී තිබේ. එබැවින් නැවත වරක් පැරණි ක්‍රමය අනුව කණ්ඩායමට උප නායකයකු නම්කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තේය. 

චරිත් අසලංක සිය අවසන් විස්සයි-20 තරග 10 න් ලබාගෙන ඇත්තේ ලකුණු 97 කි. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට ඇත්තේ මාස කිහිපයක් බැවින් යම් හෙයකින් අසලංක ඉදිරියේදීත් අසාර්ථක වුවහොත් ඊට පිළියමක් සොයාගැනීමේ අදහස ඇතිව දසුන් ශානකව උප නායක තනතුරට පත්කර තිබේ. දසුන් උපනායකයා වීම මත අසලංකට ඇතිකෙරෙන පීඩනය මගින් ඔහු වඩාත් සාර්ථක පිතිකරුවකු කරගැනීම තේරීම් කමිටුවේ අනෙක් අභිලාෂයයි. 

සීමිත ඕවර කණ්ඩායම් එකක හෝ නායකත්වය වෙනස් කිරීමේ අදහසක් තවමත් තේරීම් කමිටුවට නැත. එහෙත් යම් හෙයකින් එසේ වුවහොත්, එය වඩාත් නෑකම් කියන්නේ 2023 ලෝක කුසලාන තරගාවලියේදී දසුන් ශානකට නායකත්වය අහිමි වීමේ සිදුවීමට වඩා 2014 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී දිනේෂ් චන්දිමාල්ට නායකත්වය අහිමි වීමේ සිදුවීමටය. 

2014 දී චන්දිමාල්ට නායකත්වය අහිමි වූයේ අසාර්ථක වීම හේතුවෙනි. එහෙත් ඒ වන විටත් කණ්ඩායම ඇතුළේ හිටපු නායකයන් සිව් දෙනකුම (කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් සහ ඇන්ජලෝ මැතිව්ස්) සිටි බැවින් 2014 දී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 ලෝක ශූරයෝ ලෙසින් අබිසෙස් ලැබූහ. නායකයා කවුරුන් වුවද 2014 දී තිබුණේ කණ්ඩායම් හැඟීමකි. 

මීළඟ සීමිත ඕවර නායකයා කවුරුන් වියහැකිද යන්න තවමත් කිසිදු තීරණයක් නැත. 
“එයා නායකයා වුණොත් අපි ෆුල් සප්එක දෙනවා... හැබැයි අරයාට නම් කිසිම දෙයක් කරන්නේ නෑ” ආකාරයේ මතවාද වලටත් මුහුණ දීමට ජාතික තේරීම් කමිටුවට සිදුවී තිබේ. කණ්ඩායම් කාමරය ඇතුළේ හෝ රාත්‍රී කෑමකට යන අවස්ථාවල එවැනි දේ කතාබහ කෙරෙන නමුත් මාධ්‍ය සාකච්ඡාවකදී කොයි කවුරුත් කියන්නේ “අපි ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන්” කියාය. 

තත්ත්වය මෙසේ තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියක් සහ විස්සයි-20 තුන්කොන් තරගාවලියක් සඳහා 8 වැනිදා (සෙනසුරාදා) පාකිස්තානය බලා පිටත්ව යයි. 

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින තරග තුන මේ මස 11, 13 සහ 15 යන දිනවලදී රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි-20 තරගාවලිය 17 වැනිදා රාවල්පිණ්ඩි නුවරදී ආරම්භ වෙයි. 


පාකිස්තානු සංචාරය සඳහා තෝරා ගන්නා ලද එක්දින සංචිතය 
චරිත් අසලංක (නායකයා), පැතුම් නිස්සංක, ළහිරු උදාර, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ඩිල්ෂාන් මධුශංක සහ එෂාන් මාලිංග


තුන්කොන් තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද විස්සයි-20 සංචිතය
චරිත් අසලංක (නායකයා), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, කුසල් ජනිත් පෙරේරා, දසුන් ශානක, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, නුවන් තුෂාර, එෂාන් මාලිංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්‍ෂණ, දුෂාන් හේමන්ත, භානුක රාජපක්‍ෂ, ජනිත් ලියනගේ සහ අසිත ප්‍රනාන්දු

ඡායාරූප ඒ.එෆ්.පී


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු අර්බුදයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.