Last Update  :  2025-08-27 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket බ්‍රෙන්ඩන් නැවතත් එක්දින පිටියට
සිම්බාබ්වේ සංචාරය

බ්‍රෙන්ඩන් නැවතත් එක්දින පිටියට

editorial - 2025 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

දූෂණ මර්ධන නීති සංග්‍රහය උල්ලංඝණය කිරීම හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තහනමකට ලක්ව සිටි කඩුල රකින පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර්, ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී නැවතත් එක්දින අන්තර්ජාතික පිටියට පිවිසෙනු ඇත. තහනමින් මිදුණු පසුව, බ්‍රෙන්ඩන් ටේලර්, මේ මස මුලදී නවසීලන්තයට එරෙහිව බුලවායෝ නුවරදී පැවති දෙවන ටෙස්ට් තරගයේදී අන්තර්ජාතික පිටියට පිවිසියේය. 

කඩුලු රකින්නකු මෙන්ම ඉදිරිපෙළ පිතිකරුවකු වන බ්‍රෙන්ඩන් ටේලර් අවසන් වරට එක්දින තරගයකට මුහුණ දුන්නේ 2021 සැප්තැම්බර් මාසයේදී අයර්ලන්තයට එරෙහිවය. 

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අගෝස්තු 29 සහ 31 යන දිනවල හරාරේ හි පැවැත්වෙන එක්දින තරග දෙක සඳහා සිම්බාබ්වේ පිල වෙනුවෙන් ක්‍රේග් අර්වින්ගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. මෙම සංචිතයේ වැඩි දෙනෙක් සැප්තැම්බර් 3, 6 සහ 7 යන දිනවලදී ශ්‍රී ලංකාවට එරෙහිව හරාරේ හි පැවැත්වෙන විස්සයි20 තරග තුනක් සඳහාත් ක්‍රීඩා කිරීමේ අභිලාෂයෙන් පසුවෙති. 

“බ්‍රෙන්ඩන් නැවත කණ්ඩායමට පැමිණීම ගැන අපි සතුටු වෙනවා” යයි සිම්බාබ්වේ තේරීම් කමිටු කැඳවුම්කරු ඩේවිඩ් මුටෙන්ඩෙරා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 

“ඔහුගේ අත්දැකීම් වගේම ක්‍රීඩකයකු වශයෙන් පෙන්නුම් කරන උසස් තත්ත්වයත් පිළිබඳ සැකයක් නෑ. විශේෂයෙන්ම කණ්ඩායම පීඩනයට ලක්ව සිටින අවස්ථාවන්හිදී ඔහු කණ්ඩායමේ සිටීම කණ්ඩායම් කාමරය තුළ ක්‍රීඩකයන්ගේ ධෛර්යය වඩවන්නක්” යයි ද ඩේවිඩ් මුටෙන්ඩෙරා මහතා පැවසීය. 

පසුගිය පෙබරවාරි මාසයේදී අයර්ලන්තයට එරෙහිව පැවති තරගාවලියෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායම එක්දින තරග ක්‍රීඩා කර නොමැත. ක්ලයිව් මඩාන්ඩේ, ටෝනි මුන්යොංගා, බ්‍රැඩ් එවන්ස් සහ කෝඩුකාර වේග පන්දු යවන්නෙකු වන අර්නස්ට් මසුකු කණ්ඩායමට අලුතින් එකතු වී සිටිති. 

“මෙම සංචිතය තෝරාගෙන ඇත්තේ ශක්තිමත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව හොඳම අවස්ථාව අපට ලබාගන්නයි.... තමන් තරග දිනවන්නන් බව තහවුරු කළ ක්‍රීඩයන් මේ කණ්ඩායමේ (සංචිතයේ) සිටිනවා. ඒ වගේම (අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී) තමන්ගේ මුද්‍රාව තැබීමට ආශාවෙන් සිටින ක්‍රීඩකයනුත් මෙතන සිටිනවා” යයි පැවසූ ඩේවිඩ් මුටෙන්ඩෙරා මහතා...

“රතු පන්දු (ටෙස්ට්) ක්‍රිකට් ක්‍රීඩාවේ සිට වේගවත් එක්දින තරඟ සඳහා අපි සංක්‍රමණය වන විට ඔවුන් ඒකාබද්ධ කරලා හදාගත්ත කණ්ඩායමේ අත්දැකීම් සහ ශක්තිය තීරණාත්මක එකක් වේවි” යයි ද පැවසීය. 

සිම්බාබ්වේ කණ්ඩායම මෙවර තරග වාරය ආරම්භ කළේ පසුගිය ජූනි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග 2 කිනි. එතැන් සිට සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රීඩා කළ ටෙස්ට් තරග 4 ම පරාජය වී තිබේ. දකුණු අප්‍රිකාව සහ නවසීලන්තයත් සමගින් පැවැති විස්සයි-20 තුන්කොන් තරගාවලියකදී සත්කාරකයෝ සියලුම තරග පරාජය වූහ. 

 

එක්දින තරගාවලිය සඳහා සිම්බාබ්වේ සංචිතය
ක්‍රේග් අර්වින් (නායක), බ්‍රයන් බෙනට්, ජොනතන් කැම්බල්, බෙන් කරන්, බ්‍රැඩ් එවන්ස්, ටේ‍රවර් ග්වාන්ඩු, වෙස්ලි මැධව්රේ, ක්ලයිව් මඩාන්ඩේ, අර්නස්ට් මසුකු, ටෝනි මුන්යොංගා, බ්ලෙසිං මුසරබානි, රිචඩ් න්ගරවා, නිව්මන් නියාම්හුරි, සිකන්දර් රාසා, බ්‍රෙන්ඩන් ටේලර් සහ ෂෝන් විලියම්ස්.

 


අදහස් (0)

බ්‍රෙන්ඩන් නැවතත් එක්දින පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.