
සිම්බාබ්වේහි සහ නැමීබියාවේ සත්කාරකත්වය යටතේ අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කළ 16 වැනි යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ ඊයේ (6 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 100 ක පහසු ජයක් වාර්තා කරමිනි.
ඉන්දීයාව යොවුන් ලෝක කුසලාන දිනාගත් 6 වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඔවුන් 2000, 2008, 2012, 2018 සහ 2022 යන වසරවලදීද එයට හිමිකම් කියා ඇත. තරග 7 කදී 62.71 ක සාමාන්‍යයක් සහ 169.49 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමින් ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 439 ක් රැස්කළ වයිබව් සූර්යවංශි තරගාවලියේ වීරයා සහ අවසන් තරගයේ වීරයා සම්මාන ද්විත්වයම තමන් සතුකර ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යෞවනයෝ ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 411 ක් ලබාගත්හ. එහිදී එංගලන්ත පන්දු යවන්නන්ට එළව එළවා පහරදුන් ආරම්භක පිතිකරු සූර්යවංශි පන්දු 80 කට මුහුණ දෙමින් හයේ පහර 15 ක් සහ හතරේ පහර 15 ක් සමග ලකුණු 175 ක් රැස්කළේය. එය ඔහු යොවුන් එක්දින තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද විය.
නායක අයුෂ් මහත්‍රී (53) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 90 කදී ලකුණු 142 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සූර්යවංශි, ඉන් නොනැවතී වේදන්ත් ත්‍රිවේදි (32) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමට ලකුණු 400 සීමාව ඉක්මවා යෑම සඳහා මනා අඩිතාලමක් දැමුවේය.
පන්දු 51 කදී වාර්තා වූ අයුෂ්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත වූ අතර අභිගයන් කුන්ඩු පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 40 ක් රැස්කළේය. වේදන්ත් ත්‍රිවේදි පන්දු 36 කින් ලකුණු 32 ක්ද, විහාන් මල්හෝත්‍රා පන්දු 36 කින් ලකුණු 30 ක්ද රැස්කරමින් ඉන්දීය යොවුන් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා දායකත්වය ලබාදුන්හ.
ජයග්‍රහණය සඳහා ලකුණු 412 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත යොවුන් කණ්ඩායමට ඕවර 40.2 කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 311 ක් පමණි. එංගලන්ත යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කැලබ් ෆැල්කෝනර් පන්දු 67 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 115 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු බෙන් ඩව්කින්ස් පන්දු 56 කින් ලකුණු 66 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි.
ඉන්දීය යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 411
(වයිබව් සූර්යවංශි 175, අයුෂ් මහත්‍රී 53, වේදන්ත් ත්‍රිවේදි 32, විහාන් මල්හෝත්‍රා 30, අභිගයන් කුන්ඩු 40, ආර්. එස්. අම්බි්‍රස් 18, කනිෂ්ක් චෞහාන් නොදැවී 37, ජේම්ස් මින්ටෝ 63/3, ඇලෙක්ස් ග්‍රීන් 49/2, සෙබස්තියන් මෝගන් 74/2)
එංගලන්ත යොවුන් පිල - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී 311
(බෙන් ඩව්කින්ස් 66, බෙන් මේයර්ස් 45, තෝමස් රෙව් 31, කැලබ් ෆැල්කෝනර් 115, ජේම්ස් මින්ටෝ 28, අම්බ්‍රිස් 56/3, දීපේෂ් දේවේන්ද්‍රන් 64/2, කණිෂ්ක් චෞහාන් 63/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.