Last Update  :  2025-11-15 13:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket පාකිස්තානුවෝ තරගාවලිය ජයගනිති
දෙවැනි එක්දින තරගය

පාකිස්තානුවෝ තරගාවලිය ජයගනිති

editorial - 2025 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 8 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ පාකිස්තානුවෝ අපහසුවකින් තොරවම ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ජයගත්හ. තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගත් පාකිස්තානුවෝ මේ වනවිට 2-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටිති. 

අගනා ශතකයක් ලබාගත් බාබර් අසාම් (නොදැවී 102), ආරම්භක පිතිකරු ෆකර් සමාන් (78) සහ කඩුලු රකින්නා වන මොහොමඩ් රිස්වාන් (නොදැවී 51) පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේ පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 289 ක ඉලක්කය පසුකර යමිනි. 

වනිඳු හසරංග පමණක් සිය ඕවර 10 ලකුණු 35 කට සීමාකරගත් නමුත් ජනිත් ලියනගේ හැර සෙසු පන්දු යවන්නෝ පාකිස්තානු පිතිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූහ. තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ජනිත් ලියනගේ සිය ඕවර 4 ලකුණු 13 කට සීමාකර ගත්තද ඔහුට නැවතත් පන්දු යැවීමේ අවස්ථාවක් නොලැබිණ. 

පසුගිය අඟහරුවාදා ඉස්ලාමාබාද් නුවරදී පුපුරා ගිය බෝම්බය හේතුවෙන් බියපත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය අතරමග නවතා නැවත ශ්‍රී ලංකාවට ඒමට සූදානම් වූහ. එහෙත් රටවල් දෙකේම ක්‍රිකට් බලධාරීන්ගේ මැදිහත් වීම මත තරගාවලිය ඉදිරියට යන අතර ඊයේ පැවැත්වීමට නියමිත තරගය අද පැවැත්විණ. 

පසුපෙළ පිතිකරුවන් වූ ජනිත් ලියනගේ (54), කමිඳු මෙන්ඩිස් (44) සහ වනිඳු හසරංග (නොදැවී 37) එක්ව කළ ධෛර්යවත් පිතිහරඹය නිසා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 288 ක් ලබාගත්තේය.
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිහරඹය නැවත වරක් අසාර්ථක වූ නමුත් ලකුණු සංඛ්‍යාව පසුපෙළ පිතිකරුවන් මත රැඳී තිබිණ. පස්වැනි කඩුල්ල ලකුණු 159 දී බිඳ වැටීමෙන් පසුව කමිඳු මෙන්ඩිස් පිටියට පැමිණෙන විටත් 32 වැනි ඕවරය යැවෙමින් තිබිණ. තණතීරුවේ ස්වභාවය අනුව ලකුණු වේගය ප්‍රමාණවත් නොවන බව වටහාගත් කමිඳු මෙන්ඩිස් ඉක්මනින්ම ප්‍රහාරයට පිවිසියේය. 

පන්දු 4 ක් ඇතුළත හතරේ පහරකින් සහ හයේ පහරකින් පාකිස්තානු පන්දු යවන්නන්ට සංග්‍රහ කළ කමිඳු මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ එක්ව 40 වැනි ඕවරය නිමාවේදී ලකුණු 213 ක් පුවරුවට එකතු කළේ අවසන් ඕවර 10 දී වඩාත් තදබල ප්‍රහාරයක් සඳහා කඩුලු 5 ක් ඉතිරිකර ගනිමිනි. එහෙත් කමිඳුගේ දැවී යාමත් සමගින් පන්දු 11 ක් ඇතුළත පිතිකරුවෝ තිදෙනෙක්ම දැවී ගියහ. වඩාත්ම බරපතළ පාඩුව වූයේ ඒ වන විට හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ජනිත් ලියනගේ ලකුණු 54 කට දැවී යාමයි. 

කෙසේ වෙතත් පන්දු 26 කින් ලකුණු 37 ක් සොයාගත් වනිඳු හසරංග, නැවත වරක් පිතිකරුවකු ලෙසින් වගකීම බාරගත් හෙයින් ශ්‍රී ලංකා පිලට ලකුණු 288 ක් එකතු විය. නසීම් ෂා යැවූ අවසන් ඕවරයේදී ලබාගත් ලකුණු 18 න් වනිඳු හසරංග ලකුණු 13 කම හිමිකරුවා වූයේය. 

පළමු එක්දින තරගය පරාජය වීමේ ප්‍රධාන සාධකය වූයේ පාකිස්තානු ඉනිමේ අවසන් ඕවර 10 දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලබාගත් ලකුණු 104 යි. අද තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිය අවසන් ඕවර 10 දී ලබාගත හැකිවූයේ ලකුණු 75 කි. හාරිස් රවුෆ් (66/3) සහ අබ්රාර් අහමඩ් (41/3) එක්ව ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ දමද්දී හසරංග නොබියව ඉදිරියට ගියේ හතරේ පහරවලට වඩා තනි ලකුණු සහ ද්විත්ව ලකුණු එකතුවකින් ලකුණු 25 ක් ලබාගනිමිනි. 

පැතු-ම් නිස්සංක ලකුණු ලබාගැනීම ආරම්භ කළේ මුහුණ දුන් දෙවැනි පන්දුවම හතරේ සීමාවෙන් එපිටට යවමිනි. එයින් ලද ආත්ම විශ්වාසයෙන් දිරිමත් වූ ආරම්භක පිතිකරුවෝ දෙදෙනා ඕවර 10 ක් ඇතුළත ලකුණු 51 ක් පුවරුවට එකතු කළහ. එහෙත් පැතුම් නිස්සංක දුවදී දැවී යාමත් සමගිත් තරගයේ ග්‍රහණය දැඩිකළ පාකිස්තානුවෝ ලකුණු 98 ක් ඇතුළත ශ්‍රී ලංකා පිලේ සිව්වැනි කඩුල්ලත් බිම දමාගත්හ. 

මේ වසර පුරාම සිදුවූ පරිදි නැවත වරක් මැද පෙළ පිතිකරුවෝ අසාර්ථක වූහ. 1 වැනි කඩුල්ලත් 5 වැනි කඩුල්ලත් අතර ශ්‍රී ලාංකිකයන්ට ලබාගත හැකිවූයේ ලකුණු 47 කි. .

ඕවර 10 නිමාවීමටත් පෙර, ලකුණු 51 ක් පුවරුවේ තිබියදී තුන්වැනි ලකුණක අවශ්‍යතාවක් නොතිබිණ. තමන්ට නැතත් “කණ්ඩායම වෙනුවෙන් හෝ එය ලබාගනිමි” යයි සිතූ නිස්සංක තුන්වැනි ලකුණ කරා දිව ගියද මොහොමඩ් වසිම්ගේ දකුණත මෙන්ම කඩුලු රකින මොහොමඩ් රිස්වාන් දෙදෙනාම නිස්සංකට වඩා ඉක්මන් වූහ. 

කමිල් මිෂාර දවාගැනීමට මොහොමඩ් රිස්වාන් කළ ස්ටම්ප් කිරීම කඩුලු රකින්නකුගෙන් කළාතුරෙකින් දැකිය හැකි දස්කමකි. අබ්රාර් අහමඩ් හමුවේ තරමක් විශාල පහරකට ගිය මිෂාරට, සිය පිට ඉන්නෙන් ඉවතට ගිය ගු-ග්ලි පන්දුව සම්පූර්ණයෙන්ම මඟහැරී ගියේය.
 
සැණෙකින් එය රැකගත් රිස්වාන් කඩුල්ල කඩා දමද්දී මිෂාර සිය පාදය පසුපසට ගත් නමුත් ඔහුගේ පාදය සීමා ඉරමත තිබීම හේතුවෙන් පිතිකරුවාට ආපසු ක්‍රීඩාගරයට යාමට සිදුවිය. 
කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක දෙදෙනාම ඕවර දෙකක් ඇතුළත දැවී ගිය අතර අබ්රාර් අහමඩ් පිතිකරුවන් දෙදෙනාටම වගකීවේය. 

සධීර සමරවික්‍රම (42) සහ ජනිත් ලියනගේ එක්ව ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන යද්දී සමරවික්‍රමට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. හාරිස් රවුෆ්ගේ පන්දුවකට පුල් පහරක් ගැසීමට සමරවික්‍රම උත්සාහ කළ නමුත් පිතිකරුවා අපේක්‍ෂා කළ ඉපිළීම තණතීරුවේ නොතිබිණ. පහතින් පැමිණි පන්දුව සධීරගේ පිට ඉන්න උදුරා ඉවතට වීසි කළේ පිතිකරුවන් දෙදෙනා අතර තිබූ ලකුණු 61 ක සම්බන්ධතාව අවසන් කරමිනි. 


අදහස් (0)

පාකිස්තානුවෝ තරගාවලිය ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.