Last Update  :  2025-11-18 20:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket පාකිස්තානයට 3-0 ක තරගාවලි ජයක්
3 වැනි එක්දින තරගය

පාකිස්තානයට 3-0 ක තරගාවලි ජයක්

editorial - 2025 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවරදී අද (16 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදීත් කඩුලු 6 ක පහසු ජයක් අත්කරගත් පාකිස්තානුවෝ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී 3-0 ක ජයක් අත්කර ගත්හ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 211 කි. ඕවර 45.2 කදී ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන්ම දැවී ගියේය. පාකිස්තානු කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 215 ක් ලබාගත්තේ ඕවර 5.2 ක් ඉතිරිව තිබියදී ජයටැඹ පසුකර යමිනි. 

විස්සයි-20 ක්‍රිකට් මෙන්ම නොව, එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී කණ්ඩායමක් හිස ඔසවාගන්නේ පිතිකරුවන් අතර පවතින සම්බන්ධතා මතිනි. පාකිස්තානු ආරම්භක පිතිකරු හසීබුල්ලා ඛාන් ලකුණු නොලබා දැවීගිය නමුත් සෙසු ඉදිරිපෙළ පිතිකරුවෝ කිසිදු අසීරුතාවකින් තොරවම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මුහුණ දෙමින් සම්බන්ධතා ගොඩනැංවූහ. 

ෆකර් සමාන් (55) සහ බාබර් අසාම් (34) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර මොහොමඩ් රිස්වාන් (නොදැවී 61) සහ හුසේන් තලාත් (නොදැවී 41) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. 

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව වරෙක 55/0 ක් ලෙසින් කියැවුණ නමුත් ශ්‍රී ලාංකිකයෝ ලකුණු 211 කට දැවී ගියහ. සංඛ්‍යාත්මකව විග්‍රහ කරන්නේ නම් ලකුණු 156 ක් ඇතුළත ශ්‍රී ලංකා පිලේ කඩුලු 10 ම බිඳ වැටිණ. 

ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක (24) සහ කමිල් මිෂාර (29) දෙදෙනා වුවද, පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් දෙදෙනාටම ඊට වඩා දීර්ඝ ඉනිමක් කරා යා නොහැකි විය. ලකුණු 55 දී පැතුම් නිස්සංක දැවී යාමෙන් ඕවර 3 කට පසුව කමිල් මිෂාර ද දැවී ගියේය. මෙම තරගාවලියේදී සිය එක්දින හිස්වැස්ම දිනාගත් තරුණ පිතිකරුවකු වන කමිල් මිෂාර, සිය පළමු එක්දින තරග තුනේදීම ලකුණු ලබාගැනීම් සටහන් කළේ 38, 27 සහ 29 ක් ලෙසිනි. 

ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවී යාමෙන් පසුව කෙටි ඉනිම වලින් පසුව මැද පෙළ පිතිකරුවෝ දැවී ගියහ. 

පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් බව විස්තර විචාරකයන් කී නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිවකුට අඩුතරමේ අර්ධ ශතකයක්වත් ලබාගත නොහැකි විය. ඉතාම පැහැදිළිව පෙනෙන්නට තිබෙන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ අසාර්ථක වී තිබේ. අංක 3, 4 සහ 5 පිතිකරුවන් තිදෙනාම එක්වී ලබාගත්තේ ලකුණු 92 කි. 

සධීර සමරවික්‍රම ලබාගත් ලකුණු 48 ට පින්සිදු වන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 කඩඉම පසුකර ගියේය. පන්දු 65 කින් ලකුණු 48 ක් ලබාගත් සමරවික්‍රමගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 2 ක් පමණි. සධීර ඉනිම කඩාවැටෙන්නට නොදී අල්ලාගෙන සිටියද අවසානයේදී මොහොමඩ් වසිම්ගේ විශිෂ්ට පන්දුවක් හමුවේ දැවී ගියේය. 

දෙවැනි තරගයේදීත් කඩුලු 8 ක ජයක් අත්කරගත් පාකිස්තානුවෝ 2-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටිති. තරගාවලියේ උණුසුම නිමාවී ඇති බැවින් දෙපිලම තරග කළේ තරගයක් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව ඉෂ්ට කිරීමට මෙනි. 

ශ්‍රී ලංකා නායක චරිත් අසලංක අසනීපයෙන් පසුවන බැවින් අද තරගයේදී කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ නායකත්වය බාරගත්තේය. කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායක ශහීන් ෂා අෆ්රීඩි පැකිළිමකින් තොරවම පන්දු යැවීම තෝරා ගත්තේ රාත්‍රියේදී ඇතිවන පින්න සමගින් පන්දුව ග්‍රහණය කරගැනීම අපහසු බැවිනි. 

තරගාවලිය පරාජය වී තිබෙන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමද වෙනස්කම් 4 ක් සහිතව පිටියට පිවිසි නමුත් එයින් වැඩ ප්‍රතිඵලයක් ලබාගත නොහැකි විය. පිතිකරු පවන් රත්නායක අද සිය එක්දින හිස්වැස්ම දිනාගත්තේය.

වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට එක්වී සිටී. ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ ඉදිරිපෙළ වේග පන්දු යවන්නන් දෙදෙනකු පමණි. අවස්ථානුකූල වේග පන්දු යවන්නා ලෙසින් ජනිත් ලියනගේ සිටින නමුත් ඔහු වඩා හොඳ පිතිකරුවකු මිස සැබෑ තුන් ඉරියව් ක්‍රීඩකයකු නොවේ. හොඳින් පන්දුවට පහර දිය හැකි නියමාකාර වේග පන්දු යවන්නකුගේ අවශ්‍යතාව ශ්‍රී ලංකා කණ්ඩායමට තදින්ම තිබේ. 

- 213

ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි


අදහස් (0)

පාකිස්තානයට 3-0 ක තරගාවලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.