Last Update  :  2024-10-07 23:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව NZ IN SL Test Series 2024 කණ්ඩායමට අවශ්‍ය භූමිකාවට පිවිසීම
ගාල්ල ටෙස්ට් තරගය - 2

කණ්ඩායමට අවශ්‍ය භූමිකාවට පිවිසීම

editorial - 2024 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

නළුවා හෝ නිළිය කවුරුන් වුවත්, සිනමා පටයක, ටෙලි සිත්තමක නැතහොත් වේදිකා නාට්‍යයක, අධ්‍යක්‍ෂකවරයා විසින් බාරකරනු ලබන භූමිකාවට පිවිසීම අනිවාර්ය අවශ්‍යතාවකි. නළුවා හෝ නිළියගේ කීර්තිනාමය පිළිබඳ ප්‍රශ්නයක් එතන නැත. ටෙස්ට්, එක්දින හෝ විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් තරගයකදී වුවද මේ තත්ත්වයේ වෙනසක් නැත.

විශේෂයෙන්ම ටෙස්ට් තරගයකදී නම්, තම තමන්ගේ අතීත කෙරුවාව පැත්තකින් තිබියදී අදාළ තරගයට අවශ්‍ය භූමිකාවට පිවිස එය හරියට කළ යුතුය. නැතිනම් කණ්ඩායමේ ස්ථානය ගැන  විශ්වාසයක් තබාගත නොහැකිය.

වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස් වීම එතැනය.

දින දෙකකට එපිටින් නිමාවූ ජයග්‍රාහී ටෙස්ට් තරගයේදී ඉනිම දෙකේදීම කඩුලු 6 ක් දවාගත් නමුත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ට ස්ථානය අහිමිවූයේ පළමු ටෙස්ට් තරගයේදී ඔහුට බාර කෙරුණු කාර්යය හරියට නොකළ බැවිනි.

“මගේ ලොකු අදහසක් තිබ්බේ නෑ පන්දු යවන්න. රමේෂ් තමයි අපේ ප්‍රධාන පිට දඟ පන්දු යවන්නා. ඒ නිසා මම එයාට අවස්ථාව දීලා බැලුවා...එයා වරින් වර හොඳින් පන්දු යැව්වත් මම බලාපොරොත්තු වුණ විදිහට එයා පන්දු යැව්වේ නෑ. ඒ හින්දා තමයි මට පන්දුව අතට ගන්න වුණේ.” යයි පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව නායක ධනංජය ද සිල්වා පැවසීය.

රමේෂ් වෙනුවට එන නිශාන් පීරිස් හෙට ටෙස්ට් තරගයේදී පිටියට පිවිසෙන්නේත් විශාල අභියෝගයක් කරපින්නා ගනිමිනි. ඔහු ගේ ප්‍රධාන භූමිකාව වන්නේ නිසි ඉලක්කයකට පන්දු යවමින් ප්‍රභාත් ජයසූරියට අවශ්‍ය සහයෝගය දීමයි. ඒ අතරේ කඩුලු දවාගත හැකිනම් එය අනාගතය වෙනුවෙන් කරනු ලබන ආයෝජනයකි.

අනෙක් අතට  පසුගිය ටෙස්ට් තරග හතරේදීම (එංගලන්තයේදී පැවති තරගාවලියත් ඇතුළත්ව) අවසන් පිතිකරුවන් සිව්දෙනාගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණේ ලකුණු 266 කි. එම ලකුණු 266 න් මිලාන් රත්නායකගේ දායකත්වය ලකුණු 151 කි. මිලාන්ගේ ලකුණු 151 ඉවත් කළ කල්හි ඉතිරි තුන්දෙනාගේ ඉනිම 7 ක දායකත්වය ලකුණු 115 කි. ඉනිමකදී ලකුණු 16 කි.

මිලාන් රත්නායක නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන්නේ මෙවන් පසුබිමකදීය.

මැන්චෙස්ටර් නුවරදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ මිලාන් රත්නායක ටෙස්ට් තරග 3 කදී කඩුලු 10 ක් දවාගනිමින් පිත්තෙන් ලකුණු 151 ක් ද ලබාගත්තේය. ඊට අමතරව එම තරගාවලියේදී මිලාන් රැකගත් උඩපන්දු තුනෙන් එකක් හතරේ සීමාව  අසළදී කළ විශිෂ්ට ගණයේ උඩපන්දු රැකීමක් විය. ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍යම චරිතය වන තුන් ඉරියව් ක්‍රීඩකයා ගොඩනැඟෙන්නේ මිලාන් රත්නායකගෙනි.

“අපි එයාලගෙන් (අග පෙළ පිතිකරුවන්ගෙන්) ලකුණු බලාපොරොත්තු වෙනවා තමයි. ඒත් වඩාත් වැදගත් වෙන්නේ අනෙක් අන්තයේ පිතිකරුවෙක් ඉන්නවා නම් එයාලා දැනගන්න ඕනේ තමන්ගේ කඩුල්ල නොදී  තියාගන්න. ඒ වෙලාවෙදි අපිට අග පෙළ පිතිකරුවන්ගෙන් ඕන කරන්නේ අනෙක් අන්තයේ සිටින ඉදිරිපෙළ පිතිකරුවාට සහයෝගය දීමයි”

“පිතිකරුවා දැවී ගියාට පස්සේ එයාලා තමන්ට පුළුවන් තරමින් ලකුණු ලබාගන්න ඕනේ” යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා අද පැවැති පුවත් පත් සාකච්ඡාවේදී කීවේය.

“ලෝකයේ අනෙක් කණ්ඩායම් වල අගපෙළ පිතිකරුවන්ගේ දායකත්වය දිහා බැලුවාම අපි ඉන්නේ හරිම පහළින්. අපට වඩා ඉහළින් ඉන්නේ එක කණ්ඩායමක් විතරයි. අපේ පිතිකරු ලයිස්තුවේ අංක 9, 10 සහ 11 පිතිකරුවන්ගේ තත්ත්වය කොහොමටත් හොඳ මදි. ඒ නිසා පුහුණුවීම් වලදී අපේ අංක 9-10-11 ක්‍රීඩකයන්ට පිතිහරඹය අනිවාර්යයි.” යයි ද තිළිණ කණ්ඩම්බි මහතා පැවසීය.

හෙට ආරම්භ වන තරගය සඳහා පන්දු යවන්නන්ගේ වෙනස්කම් මිස ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලයිස්තුව වෙනස් කිරීමට තරම් හේතුවක් නැත.

නවසීලන්ත කණ්ඩායමේත් වෙනස්කම් කිහිපයක් අපේක්‍ෂා කළ හැකි නමුත් පුහුණුකරු ගැරී ස්ටෙඩ් මහතා ස්ථිරවම කීවේ නායක ටිම් සවුති හෙට තරගයේදී ක්‍රීඩා කරන බවයි.

“පළමු තරගය හොඳ තරගයක්. තරගයේ හුඟාක් වෙලාවල කණ්ඩායම් දෙකම එක වගේ තරග කළා. තරගයෙන් පස්සේ අපේ කණ්ඩායම අපේක්‍ෂා භංගත්වයෙන් සිටියත් මේක ලොකු ලොකු වෙනස්කම් කරන්න හොඳ වෙලාවක් නෙමේ. ඒක ටිකක් භයානකයි” යයි නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් අද පස්වරුවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී කීවේය.

“කොහොම වුණත් මේ වගේ තත්ත්වයන් අපට සම්පූර්ණයෙන්ම ආගන්තුකයි. උදාහරණයකට කියනවා නම් අපි අපේ රටේදි දෙවැනි වතාවට අලුත් පන්දුව ගත්තාම ඒක දඟ පන්දු යවන්නකුට දෙන්නේ නෑ. ඒත් මෙහේදී දෙනවා.. ඒක මෙහේ පවතින තත්ත්වයට අනුව වෙනස්වීමක්”

“මෙහි තණතීරුව හරි ඉක්මනින් වෙනස් වෙනවා. විශේෂයෙන්ම හතරවැනි දවසේ ඉඳලා තණතීරුව දඟ පන්දු යවන්නන්ට විශාල වාසි ගෙනනවා. ඒ හින්දා පළමු ඉනිමේදී ලබාගන්න හැම ලකුණක්ම හරිම වැදගත්....” යයි ද ගැරී ස්ටෙඩ් මහතා කීවේය.

ශ්‍රී ලංකාව තම 11 දෙනා නිවේදනය කර ඇතත් නවසීලන්තය එම තීරණය හෙට උදෑසන කාසියේ වාසිය බලන මොහොත දක්වා ප්‍රමාද කර තිබේ. පළමු ටෙස්ට් තරගය ජයගැනීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුතණු පුවරුවේ 3 වැනි ස්ථානයේ සිටී. නවසීලන්තය එහි 5 වැනි ස්ථානයට වැටී ඇත.

දෙපිල අතර තරගය හෙට (26 වැනිදා) පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.

 
 

අදහස් (0)

කණ්ඩායමට අවශ්‍ය භූමිකාවට පිවිසීම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.