Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports අවදානම අතින් අරගෙන මෝටර් රථ තරග බිමට පිවිසීම

අවදානම අතින් අරගෙන මෝටර් රථ තරග බිමට පිවිසීම

editorial - 2024 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

දියතලාව, නරියා කන්ද සුපර් ක්‍රොස් තරගාවලියේදී ඉකුත් ඉරිදා (21 වැනිදා) සිදුවූ මාරක අනතුර හේතුවෙන් ජීවිත 7 ක් අහිමි වීමත් සමග මෝටර් රථ සහ යතුරපැදි තරගවල ඇති අවදානම් සහගත බව පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වෙමින් තිබේ. කෙසේ වුවත් මෝටර් රථ තරගයක් අතරතුර ජීවිත අහිමි වූ පළමු අවස්ථාව මෙය නොවන අතර ඊට 60 දශකය දක්වා ඈත ඉතිහාසයක් ඇති බවත් දැනගන්ට ලැබේ. 

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් ‘ලංකාදීප’යට පැවසූවේ පළමු වරට ජීවිත අහිමිවීමක් සිදුවූයේ 60 දශකය මැද භාගයේ නුවරඑළියේ පැවැති මෝටර් රථ තරගයක් අතරතුර බවය. ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට ඇදී යෑම නිසා නරඹන්නන් දෙදෙනකුට ජීවිත අහිමි වී ඇතැයි වාර්තා වන නමුත් එහිදී මියගිය පුද්ගලයන් කවුරුන්දැයි යන්න පිළිබඳව කිසිදු සටහනක් නොමැති බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය. 

කෙසේ වුවත් මෑත කාලයේදී සිදුවූ එවන් අනතුරුවලින් මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 3 ක් බවට තොරතුරු අනාවරණය වන අතර ඔවුන් තිදෙනාගෙන් දෙදෙනකු යතුරුපැදි ධාවකයන් බවත්, එක් අයෙක් මෝටර් රථ ධාවකයකු බවත් සඳහන් කළ හැකිය. එහි කැපී පෙනෙන කරුණ වන්නේ ඔවුන් තිදෙනාටම ජීවිත අහිමිවී ඇත්තේ නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අතරතුර මුහුණදුන් අනතුරු හේතුවෙන් වීමය. 

කෙසේ වෙතත් දියතලාව නරියා කන්ද ධාවන පථයේදී මියගිය හත්දෙනාගෙන් පස්දෙනකු නරඹන්නන් වන අතර දෙදෙනෙක් තරග මෙහෙයුම් නිලධාරීහු වෙති. 2024 නරියා කන්ද සුපර් ක්‍රොස් තරගාවලිය වෙනුවෙන් නිකුත් කරන ලද ප්‍රවේශපත්‍රයේ පසුපිටේ සටහන් කර ඇත්තේ ද මෝටර් රථ තරග නැරඹීම සම්බන්ධ අවවාදයකි. 

“ පළමුව ආරක්‍ෂාව”
“මෝටර් රථ තරග අනතුරුදායකයි. ඔබ මෙම තරගය නරඹන්නේ එහි අවදානම ඔබ විසින්ම දරාගනිමිනි”
යයි ප්‍රවේශපත්‍රයේ පසුපිටේ සටහන් වේ. 


රංජිත් ධනපාල 
2007 වසරේ අප්‍රේල් 21 වැනිදා පැවති නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ සිලින්ඩර ධාරිතාව 250 දක්වා නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි ඉසවවේ පුහුණු සැසියක් අතරතුර රංජිත් ධනපාල දරුණු අනතුරකට ලක්ව ඇත. එදින අධික වර්ෂාවක් ඇද හැළුණු අතර පුහුණුවීම් පවත්වා ඇත්තේද දක්ෂිණාවර්ත දිශාවටය. 

ධාවන පථයේ එක් වංගුවක් පසුකරමින් සිටියදී ධනපාලට ඔහුගේ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ගැටී ඇත. එහිදී ඔහුගේ හිස්වැස්ම ගැලවී ගොස් ඇති අතර හිස පාරේ වැදී බරපතළ ලෙස තුවාල ලබා ඇත. නුවරඑළිය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව ඔහුව කොළඹ මහ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එහිදී දින අටකට පසු ඔහු මිය ගොස් ඇත. 

ඒ වන විට 39 හැවිරිදි වියේ පසුවූ ධනපාල, මෙරට ජනප්‍රිය යතුරුපැදි ශූරයෙකි. ඔහුගේ ගුණානුස්මරණය කිරීම සඳහා 2008 වසරේදී පැවැති නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවල සිලින්ඩර ධාරිතාව 250 කාණ්ඩයේ නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි ඉසවවේ ජයග්‍රාහකයා සඳහා ‘රංජිත් ධනපාල අනුස්මරණ කුසලානය’ ප්‍රදානය කරන ලදි. 


ඩිල්ෂාන් බණ්ඩාරනායක 
2008 වසරේ අප්‍රේල් 20 වැනිදා පැවති නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගවලියේ සිලින්ඩර ධාරිතාව 1000 දක්වා මිනි 7 ඉසදව්ව අතරතුර සිදුවූ අනතුරක් හේතුවෙන් ඩිල්ෂාන් බණ්ඩාරනායක මිය ගොස් ඇත. ඔහු තරගයට සහභාගි වී ඇත්තේ ඔස්ටින් මිනි 998 වර්ගයේ මෝටර් රථයක් පදවමිනි. 

තරගයේ තුන්වන වටය තුළ පෙරමුණ සඳහා පොරබදමින් සිටියදී, පැයට කිලෝ මීටර 140 ක් පමණ වේගයකින් පැමිණි බණ්ඩාරනායකගේ මෝටර් රථය, අජිත් හේමචන්ද්‍රගේ මෝටර් රථය සමග ගැටී ඇත. එහිදී මෝටර් රථ දෙකම ධාවන පථයෙන් ඉවතට ගොස් ඇති අතර බණ්ඩාරනායකගේ රථය වැලි පිරවූ ගෝනිද කඩාගෙන යමින් බැම්මක වැදී සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. 

අනතුරෙන් පසුව නුවරඑළිය රෝහලට ඇතුළත් කරන විටත් බණ්ඩාරනායක මියගොස් සිට ඇති අතර ඔහුගේ හිසට සහ පාදවලට තුවාල සිදුවී ඇති බවද, සිරුර අභ්‍යන්තරයේ බරපතළ තුවාල සිදුවී ඇති බවද නිරීක්ෂණය වී ඇත. හේමචන්ද්‍රද මෝටර් රථයෙන් ඉවතට විසිවීමේදී ගසක හැපී බරපතළ තුවාල ලබා කොළඹ රෝහලේ දැඩි සත්කාර ඒකක වෙත මාරුකර යවා ඇත. අනතුරින් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ. 

කාල ගණනයේදී ඉදිරි පෙළ ආරම්භක ස්ථානය හිමිකර ගැනීමට බණ්ඩාරනායක සමත්ව සිටියද, තරගය ආරම්භ වීමෙන් පසුව පෙරමුණට පැමිණීමට හේමචන්ද්‍ර සමත්වීමත් සමග ඔවුන් දෙදෙනා අතර දැඩි තරගකාරීත්වයක් හට ගෙන තිබිණ. ජීවිතක්ෂයට පත්වන විට තිස් ගණන්වල අග භාගයේ පසුවූ බණ්ඩාරනායක, මෙරට ජනප්‍රිය සහ පළපුරුදු මෝටර් රථ රියදුරන්ගෙන් අයෙකි. ඔහු එවකට මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ ඥාති සහෝදරයකුද විය.


ආනන්ද වෙඩිසිංහ 
2017 වසෙර් අප්‍රේල් 23 වැනිදා පැවැති නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ සිලින්ඩර ධාරිතාව 450 දක්වා සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්ව අතරතුර අනතුරකට ලක්වූ ප්‍රවීණ යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ, මැයි මස 29 වැනිදා ජීවිතක්ෂයට පත්වූයේ මහනුවර මහ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ මාසයකට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදීය.

අනතුරට මුහුණදුන් දිනයේ සිට සති 5 ක කාලයක් කෘතිම ස්වසන උපකරණයක් ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි 47 හැවිරිදි වෙඩිසිංහ, ජීවිතක්ෂයට පත්වන තෙක්ම සිහිසුන් තත්වයෙන් පසුවූ බව රෝහල් ආරංචිමාර්ග වාර්තා කරයි. වැඩි දුර ප්‍රතිකාර සඳහා ඔහු විදෙස් රටකට ගෙනයෑමට ඔහුගේ පවුලේ සාමාජිකයන් උත්සාහක කළද, ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගත නොහැකි වීම හේතුවෙන් එම උත්සාහයන් අසාර්ථක විය. 

සුපර් මෝටාර්ඞ් තරගය අතුරතුර සුරාජ් පෙරේරාගේ යතුරුපැදිය සහ සිය යතුරුපැදිය එකිනෙක ගැටීමෙන් ආනන්ද වෙඩිසිංහ අනතුරට ලක්විය. යතුරුපැදි දෙකේ හැඩලයන් එකිනෙක පැටලීම නිසා එහිදී ඔවුන් දෙදෙනාටම යතුරුපැදි පාලනය කරගැනීමට නොහැකි වූ බවත්, පාලනයෙන් ගිලිහුණ වෙඩිසිංහගේ යතුරුපැදිය ආරක්ෂක වැටක ගැටී ඔහු යතුරුපැදියෙන් ඉවතට විසිවූ බවත් පැවසේ. 

එලෙස යතුරුපැදියෙන් ඉවතට විසිවූ බව කියන වෙඩිසිංහගේ හිස ලී කොටයක වැදී ඇති අතර පාදයක් දැඩි ලෙස බිඳීයාමකට ලක්ව තිබේ. අනතුරට ලක්වීමෙන් පසු නුවරඑළිය රෝහලට ඇතුළත් කළ වෙඩිසිංහට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා එහි ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වූ බැවින් ඔහුව මහනුවර මහ රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ. 

වෙඩිසිංහගේ ගුණානුස්මරණය කිරීම සඳහා 2018 වසරේ සිට මේ දක්වා ගජබා සුපර්ක්‍රොස් තරගාවලියේ සුපර් මෝටාඞ් ඉසව්වේ ජයග්‍රාහකයන් සඳහා ‘ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ කුසලාන’ ප්‍රධානය කිරීමට එම තරගාවලියේ සංවිධායකයෝ කටයුතු කරති. 

60 දශකය මැද භාගයේ සිදුවූ බව කියන මරණ 2 සහ ධනපාල, බණ්ඩාරනායක සහ වෙඩිසිංහගේ මරණද සමග මෑත කාලයයේදී මෙරට මෝටර් රථ සහ යතුරුපැදි තරගවලදී සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව 5 ක් ලෙස සටහන් කළ හැකිය. ඉකුත් ඉරිදා සිදුවූ ජීවිත හානි 7 ද සමගින් එය 12 ක් දක්වා ඉහළ යන අතර මින් ඉදිරියට මෙවන් අවාසනාවන්ත සිදුවීම් දක්නට නොලැබේවා යැයි පතමින් මෙම සටහනට තිත තබනු ඇත.  


අදහස් (0)

අවදානම අතින් අරගෙන මෝටර් රථ තරග බිමට පිවිසීම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.