Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘ෆිෆා’ ශ්‍රී ලංකා කලාප තරගාවලිය සිකුරාදා සිට

‘ෆිෆා’ ශ්‍රී ලංකා කලාප තරගාවලිය සිකුරාදා සිට

editorial - 2024 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සිකුරාදා (22) කොළඹ සිට රිඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වන ලෝක කුසලාන (2026) පූර්ව පරාජිතයන්ගේ සිව් කොන් (ශ්‍රී ලංකා කලාප) තරගාවලියට සහභාගි වන මධ්‍යම අප්‍රිකානු ජනරජ පාපන්දු කණ්ඩායම ඊයේ (18) දිවයිනට ළඟා විය.

සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළුව භූතානය හා පැපුවා නිව්ගිනියාව ද මෙම තරගාවලියට සහභාගි වන අතර, අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ලෝක කුසාලන – 2026 පරාජිත කණ්ඩායම් ප්‍රවර්ධනය කිරීම සඳහා මහද්වීප පහම කේන්ද්‍ර කරගනිමින් හඳුන්වා දෙන නවතම තරග මාලාව යටතේ මෙම කොළඹ සිව් කොන් තරගාවලිය ආරම්භයක් ලෙස පැවැත්වේ.

ඒ සඳහා ප්‍රධාන පුහුණුකරු, ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් මහතා යටතේ ක්‍රීඩකයන් 23 දෙනකුගෙන් සමන්විත ජාතික පාපන්දු සංචිතයේ නේවාසික පුහුණුවීම් දැන් ආරම්භ කර තිබේ.

ඒ සඳහා විදේශයන්හි ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සම්භවයකින් යුත් ක්‍රීඩකයන් 14 දෙනකු ජාතික පාපන්දු සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අතර කැපී පෙනෙන්නේ ජර්මනියේ පදිංචි අහමඩ් වසීම් රසික් යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වෙමින් මෙම තරගාවලියට සහභාගි වීමය. ඔහු මීට පෙර මෙරට ජාතික කණ්ඩායම හා එක්වෙමින් ක්‍රීඩා කිරීමේදී කැපී පෙනෙන දස්කම් පළ කළ ක්‍රීඩකයෙකි.

වසර 2021 නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැති සිව් කොන් තරගාවලියේ මාලදිවයිනට එරෙහිව පැවැති තරගය ශ්‍රී ලංකාව ගෝල 4-4ක් ලෙස සම කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෝල හතරම වාර්තා කළේ මෙම ක්‍රීඩකයා විසිනි.

කෙසේ වුවත්, එම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්ව ගිය රසික් ඉන්දීය ලීග් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා ගෝකුලම් කේරළ කණ්ඩායම සමග ගිවිසුම්ගත වූ බව වාර්තා විය.

මේ අතර, තවත් එවැනිම දක්‍ෂ ක්‍රීඩකයකු වන එංගලන්තයේ උපන් 22 හැවිරිදි ඩිලෝන් සේනාන් ද සිල්වා ද මෙම තරගාවලිය සඳහා ජාතික පාපන්දු සංචිතය කැඳවා තිබේ. ඔහු එංගලන්තයේ ‘වල්ඩ්ස්න්ටෝන්’ ක්‍රීඩා සමාජයට ලීග් තරග සඳහා සහභාගි වී සිටින්නෙකි.

ලෝක කුසලාන පරාජිතයන්ගේ කොළඹ සිව් කොන් තරගාවලියේදී අවසන් මහ තරගයක් නොපැවැත්වෙන අතර, එය හුදෙක් කණ්ඩායම් ප්‍රවර්ධනය සඳහා සූදානම් කරන්නකි. කෙසේ වුවත්, එහි වැදගත්කම වන්නේ, තරග ප්‍රතිඵල ලෝක පාපන්දු ශ්‍රේණිගත (පිරිමි කාණ්ඩය) කිරීම්වලට බලපාන බැවිනි.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසන්නේ, ශ්‍රී ලංකාව මුහුණ දෙන තරග දෙකම ජය ගැනීම ශ්‍රී ලංකාවේ එකම අපේක්‍ෂාව බවයි. එම තරග ජයග්‍රහණ සඳහා දිරි දීමනා ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන්ට ලබාදෙන බවත් ජස්වර් උමාර් මහතා පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නා වන සුජාන් පෙරේරා යළිත් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.

අවසන් වරට 2023 ඔක්තෝබර් 17 වැනිදා කොළඹදී ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරගයකට සහභාගි වී තිබේ.

ලෝක කුසලාන – 2026 පූර්ව සුදුසුකම් කලාපීය තරග වටයේ තරගයක් වූ එහිදී ශ්‍රී ලංකාව යේමනය සමග දෙවැනි තරගය ගෝල 1–1කට සම කළේය.

එසේ වුවත්, දෙරට අතර සෞදියේදී පැවැති පළමු තරගය ගෝල 3–0කට ජය ගැනීමෙන් යේමනය ලෝක කුසලාන (2026) ඊළඟ තරග වටයට නිර්දේශ ලැබීය. එම තරග වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ චරිත සේනානායක ආබාධ තත්වයක් හේතුවෙන් සිකුරාදා ආරම්භ වන කොළඹ තරගාවලියට සහභාගි නොවේ.

1952 සිට ශ්‍රී ලංකාව මේ දක්වා අන්තර් ජාතික පාපන්දු තරග 252කට සහභාගි වී ඉන් ජයගෙන ඇත්තේ තරග 48ක් පමණි. තරග 150ක් පරාජය වී තිබෙන අතර සම වූ තරග ගණන 44කි. එහිදී ප්‍රතිවාදීන්  එම තරග සියල්ලේදීම ගෝල 569ක් රැස් කර ඇත. ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන්ට එරෙහිව එහිදී රැස්කර තිබෙන ගෝල ගණන 234කි.

 ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව කොළඹ තරගාවලියට සහභාගි වන භූතානය  184 වැනි ස්ථානයේ දී පැපුවා නිව්ගිණියට 165වැනි ස්ථානයේ ද මධ්‍යම අප්‍රිකානු ජනරජය 129 වැනි ස්ථානයේ ද පසු වෙති. සත්කාරක ශ්‍රී ලංකාවට එහිදී හිමි ලෝක ශ්‍රේණිගත ස්ථානය 204ය.

 

කොළඹ තරගාවලිය පැවැත්වෙන ආකාරය
(කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේ දී)

(මාර්තු22)
• පස්වරු 3.30:- භූතානය- මධ්‍යම අප්‍රිකානු  ජනරජය අතර
• රාත්‍රි 8.45:- ශ්‍රී ලංකාව- පැපුවා නිව්ගිණියාව අතර

(මාර්තු 25)
• පස්වරු 3.30:- මධ්‍යම අප්‍රිකානු ජනරජය-පැපුවා නිව්ගිනියාව අතර
• රාත්‍රි 8.45:- ශ්‍රී ලංකාව-භූතානය අතර

 


අදහස් (0)

‘ෆිෆා’ ශ්‍රී ලංකා කලාප තරගාවලිය සිකුරාදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.