අන්තර් සමාජ රග්බි ලීගය
සුපිරි වටයේ තියුණු සටනක්
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ රග්බි ලීගයේ සුපිරි වටයේ දෙවැනි සතිය ආරම්භ වන විට කුසලාන ශූරතාව සඳහා වන ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 45 ක් ලබා සිටින මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. ඔවුන් එහි පෙරමුණට පැමිණියේ පළමු සතියේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව පැවැති තරගය සමව අවසන් කරගැනීමත් සමගිනි.
මහනුවර කණ්ඩායම සමග දෙවැනි වරටත් සම වූ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම, ලකුණු 43 ක් ලබා විට කුසලාන ශූරතාව සඳහා වන ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි. එම කණ්ඩායම් දෙකේ ඉහළ නැගීමත් සමග එතෙක් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය එහි තෙවැනි ස්ථානය දක්වා පහළට වැටී ඇත.
ඊට හේතු වී ඇත්තේ සුපිරි වටයේ පළමු සතියේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය හමුවේ සී.ආර්. කණ්ඩායම පරාජයට පත්වීමය. ඒ අනුව ඔවුන්ට තවදුරටත් ලකුණු 42 හිම රැදෙමින් ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය. සී.ආර්. කණ්ඩායම පරාජය කළ හැව්ලොක්ස් කණ්ඩායම මේ වන විට ලකුණු 40 කට හිමිකම් කීවද ඔවුන් පසුවන්නේ ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේය.
සුපිරි වටයේ දෙවැනි සතියේදී හැව්ලොක්ස් කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම හෙට (7 වැනිදා) හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදීද, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම අනිද්දා (8 වැනිදා) කොළඹ තුරඟ තරග පිටියේදීද තරග වැදීමට නියමිතය.
මේ අතර පළඟ ශූරතාව සඳහා වන ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 31 ක් ලබා සිටින ගුවන් හමුදාව සමත්ව ඇති අතර ලකුණු 23 කට හිමිකම් කියන පොලිසිය එහි දෙවැනි ස්ථානයේ පසුවේ. යුද හමුදාව ලකුණු 14 ක් ලබා තෙවැනි ස්ථානයේද, නාවික හමුදාව ලකුණු 12 ක් ලබා සිවුවැනි ස්ථානයේද පසුවේ.
සුපිරි වටයේ දෙවැනි සතියේ තරග
කුසලාන ශූරතාව
■ පෙබ. 7 - හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර කොළඹ හැව්ලෝක්ස් ක්‍රීඩාංගණයේදී
■ පෙබ. 8 - සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග පිටියේදී
පළඟ ශූරතාව
■ පෙබ. 6 - නාවික හමුදාව සහ පොලිසිය අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
■ පෙබ. 7 - යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී