Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සාරංගාගෙන් ආසියානු පිම්මක්

සාරංගාගෙන් ආසියානු පිම්මක්

editorial - 2022 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
කොළඹ සුගතදාස පිටියේ දී නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා හා ආසියානු කනිෂ්ඨ ශූරතා තේරීම් තරාවලියේ දී දුර පැනීම (කාන්තා) ඉසව්වෙන් මීටර 6.65කට නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදා ක්‍රීඩිකා සාරංගා සිල්වා සමත්වූවාය.

ඇය මෙහිදී සාර්ථක කරගත් පිමි තුනෙන් දෙකකදීම පැරැණි ශ්‍රී ලංකා වාර්තාව බිඳ වැටීම කැපී පෙනුණි. 25 හැවිරිදි සාරංගා සිය පළමු පිම්මේ දී මීටර 6.53ක දක්ෂතාවක් දැක්වූයේ පසුගිය ඔක්තෝබර් 10 වැනිදා සුගතදාස පිටියේ දී පැවැති 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී මීටර 6.48කට ඇය විසින්ම පිහිටුවා තිබූ දුර පැනීම (කාන්තා) ඉසව්වේ එතෙක් පැවැති ශ්‍රී ලංකා වාර්තාව බිඳ දමමිනි.

සාරංගාගෙන් පළවූ දක්ෂතා අනුව ඇය දුර පැනීම (කාන්තා) ඉසව්වේ ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි ස්ථානය දක්වා ළඟාවීමට සමත්ව සිටින්නීය.
එය එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා මලල ක්‍රීඩා තරගාවලියට එම ඉසව්වෙන් නිර්දේශ ලබා ගැනීමක් වන අතර මෙම වසරේදීම පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලින් ඇය මේ වනවිට නිර්දේශ තහවුරු කරගෙන තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා දුර පැනීමේ (කාන්තා) ඉසව්වේ අවම නිර්දේශ දුර මීටර 6.49කි.

වසර 2019 සාග් ක්‍රීඩා උළෙලේ දී මීටර 6.38කට රන් පදක්කම දිනා ඇති සාරංගා සිල්වාගේ පෞද්ගලික පුහුණුකරු ලෙසත් ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ලෙසත් ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න මහතා කටයුතු කරයි.

තෙදිනක් පුරා පැවැති තේරීම් තරගාවලියේ දී දුර පැනීම (පිරිමි) කනිෂ්ඨ ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටු වූ ට්‍රැක්මාස්ටර් ක්‍රීඩා සමාජයේ හිරුෂ ඒෂාන් (මීටර 7.67) ලබන අගෝස්තු 2 වැනිදා කොළොම්බියාවේ ‘කේලි’ නුවර දී ආරම්භ වන 19 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේශ ලබා ගැනීමට සමත්ව සිටියි.

මෙම තේරීම් තරගාවලියේ දී වාර්තා වූ සෙසු එකම නව ශ්‍රී ලංකා වාර්තාව රිටි පැනීම (කාන්තා) ඉසව්වෙන් යුද හමුදා ක්‍රීඩිකා කෞශල්‍යා පෙරේරා (මීටර 3.65) හිමිකර ගත්තාය.

ලබන අගෝස්තු 2 වැනිදා සිට 7 වැනිදා දක්වා එංගලන්තයේ ‘බර්ටින්හැම්’ නුවර දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා (මලල ක්‍රීඩා) තරගාවලිය හා ලබන සැප්තැම්බර් 16 සිට 22 වැනිදා දක්වා චීනයේ ‘හැන්ග්ෂු’ නුවර දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා (මලල ක්‍රීඩා) තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් නිර්දේශ කිරීම සඳහා තවත් තේරීම් තරගාවලි දෙකක් පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කටයුතු යොදා තිබේ.

ඒ අනුව දෙවැනි තේරීම් තරගාවලිය ලබන මාර්තු 10, 11, 12 යන දිනවලදීත් තෙවැනි (අවසන්) තේරීම් තරගාවලිය ලෙස 100 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ලබන අප්‍රේල් 8, 9, 10 යන දිනවලදිත් කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වේ.

 


අදහස් (0)

සාරංගාගෙන් ආසියානු පිම්මක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.