
නාමල් පතිරගේ
බහරේන් රාජ්‍යයේදී ආරම්භ වූ තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් (බාලක) තරගාවලියේදී ශ්‍රී ලංකාව බංග්ලාදේශය වට 2 - 1 කින් හා කටාරය වට 2 - 1 කින් පරාජය කිරීමට සමත් විය.
එහිදී ලකුණු 21/15 - 12/21 - 15/07 ක් ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගය ජය ගත්තේය.ලකුණු 21/18 - 08/21 - 15/12 ක් ලෙස එහිදී කටාරය සමග තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේය. මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව වට 2-0 කට සත්කාරක බහරේනයද (22/20 - 21/07) පරාජය කළේය. එහෙත් කාන්තා තරගාවලියේදී කසකස්ථානය සමග පැවැති තරගය වට 2-0 කට ශ්‍රී ලංකාව පරාජය විය. ඒ ලකුණු 06/21 හා 14/ 21 ලෙසය.
මෙහි බාලිකා ඉසව්වේදී ශ්‍රී ලංකාව මෙතෙක් පැවැති තරගවලදී චීනයට ලකුණු 11/21 - 13/21 ක් ලෙස පරාජය විය. එහිදී ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් (බාලක) කණ්ඩායමට දිදුල මහීම පබසර ප්‍රනාන්දු හා කුසල් දුල්මින සදරුවන් ඇතුළත් වූහ.
චමුදි ආදිත්‍යා හා ෂදීශා දිල්රුක්ෂී නියෝජනය කරන ශ්‍රී ලංකා බාලිකා වෙරළ වොලිබෝල් කණඩායම අද (23) මලයාසියාව හා කටාරය සමග තරග දෙකකට සහභාගි වේ. ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් (බාලක) කණ්ඩායම අද ඉන්දුනීසියාව සමග තරගයකට සහභාගි වේ. මෙම සියලු තරග මූලික වටයේ තරග ලෙස පැවැත්වේ.
තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 31 වැනිදා දක්වා බහරේනයේදී පැවැත්වේ. ඒ සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩා ඉසව් 13 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 ක කණ්ඩායමක් සහභාගි කර සිටියි.
කබඩි තරගාවලියේ ඊයේ (22) වන තෙක් ශ්‍රී ලංකාව සහභාගි වූ බාලක හා බාලිකා තරග රැසක් අතරින් ශ්‍රී ලංකාවට ජය ගත හැකි වූයේ තායිලන්තයට එරෙහිව පැවැති බාලක ඉසව්වේ තරගය පමණි. ඒ එක ලකුණක (50-49) තියුණු ජයක් ලබමිනි. ඊයේ පැවැති එම එක් බාලක ඉසව්වේ තරගයකින් ශ්‍රී ලංකාව ලකුණු 92 - 23 ක දැවැන්ත පරාජයක් ලැබීය. ඉන්දියාවට තවත් එවැනිම ලකුණු 89 - 16ක දරුණු පරාජයක් ලැබිය.
ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් හෙට (24) සිට ආරම්භ වේ. ඒ සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි කර සිටියි.
උස්බෙකිස්තානය ඊයේ වන විට රන් පදක්කම් පහක් දිනා පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේය. ඊයේ වන විට දකුණු ආසියානු කලාපයෙන් පදක්කම් දිනා සිටියේ ඉන්දියාව පමණි. ඒ එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකකි. ඉන්දියාව මෙම ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 දෙනෙකුගේ කණ්ඩායමක් ඉදිරිපත් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.