Last Update  :  2026-03-19 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පළමු අදියර සති අන්තයේ

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පළමු අදියර සති අන්තයේ

editorial - 2026 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර කණ්ඩායම් 9 ක සහභාගීත්වයෙන් මෙම මස 21 සහ 22 යන දිනවල කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙරට තුළ අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 4 කට පසුව වීමද විශේෂත්වයකි. 

එහිදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය, පොලිසිය සහ යුද හමුදාව ‘ඒ’ කාණ්ඩ යටතේද, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, යූ.යූ.ඩී.එස්. ටස්කර්ස් සහ ශ්‍රී ලයන්ස් කණ්ඩායම් ‘බී’ කාණ්ඩය යටතේද, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, ගුවන් හමුදාව සහ නාවික හමුදාව ‘සී’ කාණ්ඩය යටතේද මූලික වටයේදී තරග බිමට පිවිසෙනු ඇත.
 
‘බී’ කාණ්ඩය යටතේ තරග වදින යූ.යූ.ඩී.එස්. ටස්කර්ස් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජය නියෝජනය කරමින් මෙම තරගාවලියට එක්ව සිටින ආරාධිත විදෙස් කණ්ඩායමකි. මහනුවර ක්‍රීඩා සමාජය මෙම තරගාවලියට සහභාගි නොවන අතර ඊට හේතුවී ඇත්තේ තරගාවලිය සඳහා අයැදුම්පත් කැඳවනු ලැබූ කාල සීමාව තුළ අයැදුම්පතක් යොමු කිරීමට මහනුවර කණ්ඩායම ඉදිරිපත් නොවීමය. 

තරගාවලියේ පළමු දිනය වන සෙනසුරාදා (21 වැනිදා) මූලික වටයන්හි තරග පැවැත්වෙන අතර දෙවැනි දිනය වන ඉරිදා (22 වැනිදා) අවසන් වටයන්හි තරග පැවැත්වෙනු ඇත. මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තමන් නියෝජනය කරන කාණ්ඩයේ සෙසු කණ්ඩායම්වලට එරෙහිව ලීග් ක්‍රමයට අනුව තරග වදිනු ඇත. 

එහිදී එක් එක් කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 3 සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් 3 න් ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම කුසලාන ශූරතාව සඳහා තරග වැදීමට සුදුසුකම් ලබනු ඇත. සෙසු කණ්ඩායම්වලට දෙවැනි දිනයේදී පළඟ ශූරතාව සහ බඳුන ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත. 

මෙම තරගාවලියේ දෙවැනි අදියර එළබෙන 28 සහ 29 යන දිනවල කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. බොගෝ ලිව් සහ යුනියන් පේ යන සමාගම් තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි. 


අදහස් (0)

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පළමු අදියර සති අන්තයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.