
(ශානුක අරවින්ද)
සිම්බාබ්වේහිදී පැවැත්වෙන වයස 19 න් පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එළඹෙන සෙනසුරාදා (17 වැනිදා) ජපන් යොවුන් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 1.00 ට තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි. හෙට (15 වැනිදා) ආරම්භ වන මෙම තරගාවලිය පෙබරවාරි මස 6 වැනිදා දක්වා ක්‍රීඩාංගණ 3 කදී පැවැත්වේ.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 16 ටම තරගාවලිය ආරම්භ වීමට පෙර පෙරහුරු තරග 2 කට බැගින් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවිය. පෙරහුරු තරගවලදී දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම ලකුණු 12 කින් පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ, ඇෆ්ඝනිස්ථාන යොවුන් කණ්ඩායම පරාජය කළේ ලකුණු 7 කිනි. වර්ෂාව හේතුවෙන් එම තරග දෙකේම ජයග්‍රාහකයා තීරණය කෙරුණේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවය.
විමත් දින්සරගේ නායකත්වයෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම, 2025 යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියි. ‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මූලික වටයේ සෙසු තරගවලදී ඕස්ටේ්‍රලියාවට සහ අයර්ලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතය.
තරගාවලියේ මූලික වටය එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් වූ ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ යන කාණ්ඩ 4 යටතේ පැවැත්වෙන අතර සෑම කාණ්ඩයකම පළමු ස්ථාන 3 ට පත්වන කණ්ඩායම් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට පිවිසෙනු ඇත. සුපිරි 6 දෙනාගේ වටය කණ්ඩායම් 6 බැගින් වූ කොටස් දෙකක් යටතේ පැවැත්වීමට නියමිතය.
සුපිරි 6 දෙනාගේ වටයේදී ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩවල කණ්ඩායම් පළමු කොටස යටතේද, ‘බී’ සහ ‘සී’ කාණ්ඩවල කණ්ඩායම් දෙවැනි කොටස යටතේ තරග වදිනු ඇත. එම කොටස් දෙකේ මුල් ස්ථාන දෙක හිමිකර ගන්නා කණ්ඩායම් 4 තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන අතර එතැන් සිට තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වේ.
තරගාවලියේ මූලික වටයේ 24 වැනිදා දක්වා පැවැත්වෙන අතර සුපිරි 6 දෙනාගේ වටයේ තරග 24 වැනිදා සිට පෙබරවාරි 1 වැනිදා දක්වා පැවැත්වේ. අවසන් පූර්ව තරග 3 වැනිදා සහ 4 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය 6 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අවසන් පූර්ව සහ අවසන් මහ තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ හරාරේ සහ බුලවායෝ ක්‍රීඩාංගණ වලදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.