Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශලිත් - මානෙල්ක සා.පීතර විදුහල ඔසවා තබති

ශලිත් - මානෙල්ක සා.පීතර විදුහල ඔසවා තබති

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාන්ත ජෝශප් විදුහල් පිලේ පන්දු යවන්නන් හමුවේ අසරණ වෙමින් සාන්ත පීතර විදුහල් පිලේ මුල්පෙළ පිතිකරුවන් අඩු ලකුණු ගණනකට දැවී යද්දී ශලිත් ප්‍රනාන්දු සහ මානෙල්ක ද සිල්වා එක්ව ඉනිම ගොඩ නගමින් දෙවිදුහල් අතර 83 වැනි වරටත් පැවැත්වෙන සාන්තුවරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවනවිට සිය විදුහල් පිලේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 5කට ලකුණු 138 දක්වා ඉහළට ඔසවා තැබීමට සමත්වූහ. ඒ අනුව සාන්ත පීතර විදුහල් පිල කඩුලු 5ක් අතැතිව සාන්ත ජෝශප් විදුහල් පිලට වඩා තවත් ලකුණු 67ක් පසුපසින් සිටී.

පී.සරවනමුත්තු පිටියේ දී අද ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සාන්ත ජෝශප් විදුහල් පිල පස්වරු තේ පානයට පෙර ලකුණු 205කට දැවී යාමෙන් පසුව පිටියට පිවිසි සාන්ත පීතර විදුහල් පිලේ මුල් පෙළ අසරණ කරමින් ප්‍රතිවාදී පන්දු යවන්නන් එල්ල කළ දැඩි අභියෝගයට කදිමට මුහුණ දුන් ශලිත් ප්‍රනාන්දු ලකුණු 47ක් ද, මානෙල්ක ද සිල්වා නොදැවි ලකුණු 40ක් ද රැස් කිරීමට සමත්වූහ.

සාන්ත පීතර විදුහල් පිලේ මුලු ලකුණු සංඛ්‍යාව 77ක්ව තිබියදී සිවුවැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව එක්වූ ශාලිත් සහ මානෙල්ක පස්වැනි කඩුල්ලට අගනා ලකූණු 60ක සම්බන්ධතාවක් ගොඩනැගිමට සමත්වූ අතර ශලිත් දැවී ගියේ අවසන් මොහොතේදීය.

සාන්ත ජෝශප් විදුහල් ඉනිමේ දී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජෙහාන් ඩැනියෙල් නොදැවී ලකුණු 124ක් රැස් කිරීමට සමත්වූයේ දිවා ආහාරයට පෙර සාන්ත ජෝශප් පිලේ ප්‍රබලතම මුල්පෙළ පිතිකරුවන් සියලුදෙනා ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සාන්ත පීතර විදුහල් පිලේ පන්දු යවන්නෝ සමත්වීමෙන් පසුවය. එක් අන්තයකින් පිතිකරුවන් දැවී යද්දී අනික් අන්තයෙන් සිය කඩුල්ල ආරක්ෂා කරගත් ජෙහාන් ඩැනියෙල් නොදැවී ලැබූ ශතකයට අගපෙළ පිතිකරු පහන් පෙරේරාගෙන් ලැබුණේ හොඳ තල්ලුවකි. ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 25කි.

පසුගියදා දකුණු අප්‍රිකානු සංචාරයේ නිරතවූ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිලේ ප්‍රබලතම පිතිකරුවකු වූ ඩැනියෙල් අද තරගයේ දී ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ නොසැලී සටන් කළ එකම පිතිකරුවා බවට පත්වීම කැපී පෙනෙයි.

පන්දු යැවීමේ දී සාන්ත පීතර විදුහල් පිලේ තුන්ඉරියව් ක්‍රීඩක සන්තූෂ් ගුණතිලක සහ මනෙල්ක ද සිල්වා කඩුලු 3 බැගින් දවාලූහ.

මෙවර සාන්තුවරයන්ගේ සටනේ විශේෂත්වය වන්නේ පළමුවරට තරග තීරකවරයකු එක්වී සිටීමය. එකළ අන්තර් සමාජ තරග බිමේ කැපී පෙනෙන ක්‍රීඩකයකු වූ නල්ලයියා දේවරාජන් මහතා එම ගෞරවනීය වාර්තාවට හිමිකම් කියමින් අද තරගයේදී තරග තීරකවරයා ලෙස කටයුතු කරයි.

 

සාන්ත ජෝශප් විදුහල - පළමු ඉනිම 205යි.
(ජෙහාන් ඩැනියෙල් නොදැවී 124, ෂැවෝන් ෆොන්සේකා 26, පහන් පෙරේරා 25, සන්තූෂ් ගුණතිලක 34/3, මානෙල්ක ද සිල්වා 35/3)

සාන්ත පීතර විදුහල - පළමු ඉනිම 138/5යි.
(ශාලිත් ප්‍රනාන්දු 47, මානෙල්ක ද සිල්වා නොදැවී 40)

 

- 077

 


අදහස් (0)

ශලිත් - මානෙල්ක සා.පීතර විදුහල ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.