(ශානුක අරවින්ද)
කොළඹ වෙස්ලි විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 6 වැනි කාට්මන් කුසලාන වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ ඊයේ (20 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි වෙස්ලි විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 84 ක් ලබා සිටියේය.
ඒ අනුව වෙස්ලි විදුහල කඩුලු 8 ක් අතැතිව ශාන්ත බෙනඩික්ට් විදුහලට වඩා ලකුණු 138 ක් පසුපසින් සිටියි. පළමු දිනය අවසානයේ ජොනතන් ප්‍රනාන්දු හතරේ පහර 5 ක් සමග ලකුණු 42 ක්ද, නායක රෂ්මික අමරරත්න හතරේ පහර 2 ක් සමග ලකුණු 15 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
කාසියේ වාසිය දිනූ වෙස්ලි කණ්ඩායම් නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත බෙනඩික්ට් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 222 ක් ලබාගත්තේය. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු මාරියෝ ප්‍රනාන්දු හතරේ පහර 11 ක් සමග ලකුණු 88 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය.
ටෙහාන් බිටාර් (55) සමග එක්ව ශාන්ත බෙනඩික් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 117 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මාරියෝ, ඉන් නොනැවතී මිහිල ජයවීර (30) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශාන්ත බෙනඩික්ට් විදුහලට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.
එහිදී ටෙහාන්ගේ අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත වූ අතර මිහිලගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය. ඔවුන් තිදෙනා හැරුණුකොට ශාන්ත බෙනඩික්ට් විදුහලේ සෙසු පිතිකරුවෝ කිසිවෙක් ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට අපොහොසත් වූහ. වෙස්ලි විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිනුජ සමරරත්න ලකුණු 63 කට කඩුලු 6 ක් බිඳහෙළුවේය.
ශාන්ත බෙනඩික්ට් විදුහල් පළමු ඉනිම - ඕවර 63.2 කදී සියලු දෙනා දැවී 222
(මාරියෝ ප්‍රනාන්දු 88, ටෙහාන් බිටාර් 55, මිහිල ජයවීර 30, දිනුජ සමරරත්න 63/6, මෙත්නුල මායාදුන්නේ 32/2)
වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 31 කදී කඩුලු 2 ක් දැවී 84
(ජොනතන් ප්‍රනාන්දු නොදැවී 42, රෂීඩ් නායන් 23, රෂ්මික අමරරත්න නොදැවී 15)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.