Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විධායක සභාවේ සංයුතිය අඩුකරනවා

විධායක සභාවේ සංයුතිය අඩුකරනවා

editorial - 2021 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ජස්වර් උමාර් මහතා වැඩ බාරගනිමින් මාධ්‍ය හමුව ඇමතූ අයුරු.

(නාමල් පතිරගේ)

කෝප් කමිටුවේද විවේචනයට බඳුන්වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ සංයුතිය අඩු කිරීමට තමා නොපමාව කටයුතු කරන බව පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස වැඩබාරගත් ජස්වර් උමාර් මහතා පැවසීය. පසුගිය සිකුරාදා (2) ටොරින්ටන් පෙදෙසේ පිහිටි පාපන්දු නිවසේදී ආගමික වතාවත් මැද ජස්වර් උමාර් මහතා වැඩ බාරගත්තේය.

එහිදී පැවැති මාධ්‍ය හමුවේදී උමාර් මහතා පැවසුවේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කෙටුම්පත් කරමින් පවතින ව්‍යවස්ථාව සිය පාලන සමය ගෙවී යාමට කලින් අනුමත කර ගැනීමත් ප්‍රධාන කාර්යයක් බවට පත්ව තිබෙන බවයි.

පසුගිය ජූනි 30 වැනිදා පැවැති පාපන්දු සම්මේලනයේ නිලවරණයේදී (2021 – 22) වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා ඡන්ද හයකින් පරාජයට පත් කරමින් ජස්වර් මහතා එහි මුල් පුටුවට පත්විය. ජස්වර් උමාර් මහතා ඇතුළු නව විධායක සභාව පාපන්දු නිවසේදී වැඩ බාරගැනීමේ අවස්ථාවට ලීග නියෝජිතයෝ රැසක්ද සහභාගිවී සිටියහ.

මාධ්‍ය හමුවේදී නව සභාපතිවරයා මෙසේද පැවසීය.

පාපන්දු සම්මේලනයේ විධායක සභාව සාමාජිකයන්  28 ක් තරම් විශාලවීම ගැන පසුගිය දවස්වල කෝප් කමිටුවේත් කථාබහකට ලක්වුණා. මගේ පළමු පාලන කාලය වසරකට සීමාවුණු එකක්. පාපන්දු විධායක සභාවට මෙතරම් සාමාජිකයන් ගණනක් වැඩිවුණේ පසුව පත්කරගන්නා අනුකමිටුවල සභාපතිවරුන් ඊට ඇතුළත් කර ගැනීම නිසායි.

මම බලාපොරොත්තු වෙනවා අලුත් විධායක සභාවේ වඩා වැදගත් විෂයන්වලට අදාළවන අනු කමිටු සභාපතිවරුන් කීපදෙනකු පමණක් ඇතුළත් කරගන්න.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් ජස්වර් උමාර් මහතා මෙසේද පැවසීය.

‘‘මම කියපු විදියටම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අකුරක් නෑර ඉටු කරන්න උනන්දු වෙනවා. මම මේ වසරක කාලය තුළ කුසලාන ගැන නොවෙයි හිතන්නේ. ගමේ මිනිහට රටේ පාපන්දු ක්‍රීඩාව වඩාත්ම සමීප කරන්නයි. පසුගිය කාලයේ සිදුවුණු සමහර දේවල් නිසා රටේ පාපන්දු ක්‍රීඩාව ජනතාවට එපාවුණා. මගේ මුල්ම උත්සාහයත් ඈත්ව ගිය ජනතාව නැවත රටේ පාපන්දු ක්‍රීඩාවට ළංකරන්නයි.

කෝප් කමිටුවේදී මම සම්මේලනයේ ලේකම්වරයා ලෙස වගකීම් ඉටු නොකළ බවට කෙරෙන චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. එතන අපේ පාර්ශ්වයේ ප්‍රධානියා වුණේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයායි. ඔහුට පිටින් යන්න මට බෑ. නමුත් මට ලැබුණු අවස්ථාවේ මම ඇත්ත තත්ත්වය කෝප් කමිටුවට කිව්වා පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ සංයුතිය ගැන මම දරන මතයක් තිබෙනවා. ඒ මතය මම කෝප් කමිටුව ඉදිරියේ ප්‍රකාශ කිරීම සමහරුන්ට වැරැදියට ගැනීම කනගාටුවට කරුණක්.

මාධ්‍යවේදියකුගේ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ පාපන්දු සම්මේලනයේ නිලවරණයේදී තමා ඡන්දය නැත්තෙකු ලෙස හැඳින්වීමට ඇතැමුන් උත්සාහ කරන නමුත් හිටපු සභාපති අනුරද සිල්වා මහතා නිලවරණයට ඉදිරිපත්වූ පළමු අවස්ථාවේදී ඔහුද ලීගයක සාමාජිකයෙකු නොවූ බවයි.

පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයාද වන ජස්වර් උමාර් මහතා ශ්‍රී ලංකා පාපන්දු විනිසුරුවන්ගේ සංගමයේ ලේකම්වරයා ද වන අතර පාපන්දු නිලවරණයේදී විනිසුරු සංගමයට හා පාසල් පාපන්දු සංගමයට ඡන්ද බලය හිමි නොවේ.

ජස්වර් උමාර් මහතාගේ පත්වීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා මෙන්ම ආසියානු පාපන්දු සමුළුවේ සභාපති සල්මන් බිග් ඉබ්‍රහිම් මහතාද සුබපැතුම් එක්කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ දැන් පවතින තත්ත්වයද සැලකිල්ලට ගනිමින් විශේෂ සංවර්ධන ව්‍යාපෘති කීපයක්ම ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යාධාර ලබාදීම තවදුරටත් ඉහළ නංවන බවයි.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන්  ශ්‍රී ලංකාවට ප්‍රධානයන් වශයෙන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 10 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 20 කට අධික මුදලක්  ලැබේ. ඒ විශේෂ මූල්‍ය ප්‍රදානයන් හැරුණු කොටය.

මෙම මාධ්‍ය හමුවේදී සම්මේලනයේ නව ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති උපාලි හේවගේ හා භාණ්ඩාගාරික ඒ.එෆ්. සෙල්ලාර් යන මහත්වරුද අදහස් දැක්වූහ. ලබන වසරේ මැයි 31 වැනිදාට පෙර පාපන්දු සම්මේලනය නව ව්‍යවස්ථාව යටතේ සිව් වසරක කාලයක් බලගැන්වෙන නිලවරණයක් නැවත කැඳවිය යුතුය.

 


අදහස් (0)

විධායක සභාවේ සංයුතිය අඩුකරනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.