ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනයේ සභාපති තනතුර සඳහා ඉදිරිපත්ව සිටින, එහි වත්මන් සභාපතිවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාට සහ හිටපු සභාපතිවරයකු වන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මහතාට විරෝධතා දෙකක් ඉදිරිපත් වී තිබේ.
කනක හේරත් මහතා මේසපන්දු තරග සඳහා සහභාගි වී නැති බව පවසමින් ඔහුට එරෙහිව දයා සමරවීර මහතා විරෝධතාවක් ගොනුකර තිබිණ. සබරගමු පළාත් මේසපන්දු සංගමය විසින් දයා සමරවීර මහතාට එරෙහිව අනෙක් විරෝධතාව ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ඔහු ක්‍රීඩා අමත්‍යංශයේ නිලධාරියෙකු ලෙස සේවය කරන බව පවසමිනි.
කෙසේ වෙතත් එම විරෝධතා විභාග කළ අවස්ථවේදී ඒවා සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් තරම් සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිළිකාර පාර්ශ්වයන් අසමත් වීමත්, ඒවා නිෂ්ප්‍රභා කිරීම සඳහා ප්‍රමාණවත් තරම් සාක්ෂි ඉදිරිපත් කිරීමට විත්තිකාර පාර්ශ්වයන් සමත් වීමත් නිසා දෙදෙනාගේම නාමයෝජනා අනුමත කිරීමට නිලවරණ කමිටුව පියවර ගෙන තිබිණ.
ලේකම් තනතුර සඳහා ඉදිරිපත්ව සිටින නිරංජන් අබේසේන මහතාට එරෙහිවද විරෝධතාවක් ඉදිරිපත්වී තිබුණ අතර මේසපන්දු තරග සඳහා සහභාගි වී නැති බවට එහිදී ඔහුට එරෙහිව චෝදනා එල්ල විය. කෙසේ වෙතත් අබේසේන මහතා මින් පෙර මේසපන්දු සංගමයේ වැඩ බලන සභාපතිවරයකු ලෙස මෙන්ම උප සභාපතිවරයකු ලෙසද කටයුතු කර ඇති බැවින් ඔහුගේ නාමයෝජනාවටද අනුමැතිය දීමට නිලවරණ කමිටුව කටයුතු කර තිබිණ. අබේසේන මහතා සමග තරගයට ඉදිරිපත්ව ඇත්තේ මින් පෙර මේසපන්දු සංගමයේ උප සභාපතිවරියක ලෙස මෙන්ම උප ලේකම්වරියක ලෙසද කටයුතු කර ඇති සදිසි නිරාෂා මෙනවියයි.
ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනයේ මහ සභා රැස්වීම සහ නිලවරණය ජූලි මස 10 වැනිදා ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත බව එම සංගමයේ ලේකම් කසුන් උදාර මහතා ‘ලංකාදීප’යට පැවසීය. සංගමයේ ගිණුම් වාර්තා රජයේ විගනකාධිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් මැයි මස 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මෙම නිලවරණය දින නියමයකින් තොරව කල් දැමීමට නිලවරණ කමිටුවට සිදුවිය.
විගණනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට ලබාදුන් ගිණුම් වාර්තා ආපසු ලැබීමට ප්‍රමාද වීම, එම වාර්තා විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම ප්‍රමාද වීමට හේතුව ලෙස උදාර මහතා සඳහන් කර සිටියේය. නව ක්‍රීඩා නීතියට අනුව යම් ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක නිලවරණයක් පැවැත්වීමට දින 14 කට පෙර අදාල සංගමයේ හෝ සම්මේලනයේ ගිණුම් වාර්තා රජයේ විගනකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබාගත යුතුය.
ඒ අනුව පෞද්ගලික විගණන සමාගමේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව එම ගිණුම් වාර්තා රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බව පැවසූ උදාර මහතා, එහිදී වැඩි දුරටත් කියා සිටියේ විගනකාධිපති දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ගිණුම් වාර්තා අද (23 වැනිදා) පෙරවරුවේදී තමා වෙත ලැබුණ පසු නිලවරණ කමිටුව සමග සාකච්ඡා කර නිලවරණය සඳහා දිනයක් යොදාගත් බවයි.
මෙවර නිලවරණයේදී සභාපති සහ ලේකම් යන තනතුරු දෙක සඳහා නාම යෝජනා දෙක බැගින් ඉදිරිපත්වී ඇති බැවින් එම තනතුරු දෙක සඳහා පමණක් ඡන්දයක් පැවැත්වේ. සෙසු තනතුරු සඳහා නිලධාරීන් නිතරගයෙන් පත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.