Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විමුක්ති කිංග්ස්වුඩ් විදුහලේ ගෞරවය රැක ගනියි

විමුක්ති කිංග්ස්වුඩ් විදුහලේ ගෞරවය රැක ගනියි

රොෂාන් ගුණරත්න - 2017 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ධර්මරාජ විදුහලේ පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයකට හසුවී සිටි කිංග්ස්වුඞ් විදුහල් පළමු ඉනිම ගොඩ නැගූ උපනායක විමුක්ති විජේසිරිවර්ධන දෙවිදුහල අතර අද (17) ආරම්භ වූ කන්ද උඩරට සුලෝහිත ගැටුමේ දී සිය විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 167 දක්වා ඇදගෙන යාමට සමත්විය. අද පස්වරුවේ කිංග්ස්වුඩ් විදුහල් පිලේ පළමු ඉනිම නිමාවට පත්වනවිට හෙතෙම නොදැවී ලකුණු 87 ක්ම රැස් කොට තිබිණි.


පස්වරුවේ දී සිය පළමු ඉනිම ආරම්භ කළ ධර්මරාජ විදුහල දිනය නිමාවනවිට කඩුලු 2ක් දැවී ලකුණු 42ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුන් කිංග්ස්වුඞ් විදුහල් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 126ක් පසුපසින් සිටින්නේ කඩුලු 8ක් ද අතැතිවය.


කන්ද උඩරට පැරැණිතම ක්‍රිකට් ගැටුම ලෙස සැලකෙන මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් කිංග්ස්වුඞ් විදුහල් පිලේ නායක අවිශ්ක චන්ද්‍රසිරි පළමුව පන්දුවට පහරදීම තෝරාගනු ලැබුවත් ආරම්භයේ සිටම ප්‍රබල තර්ජනයක් ගෙන දුන් ධර්මරාජ විදුහලේ පන්දු යවන්නන් මෙල්ල කරගැනීමට මුල දී කිංග්ස්වුඩ් පිතිකරුවෝ අසමත් වූහ.


අද දිවා ආහාරය වනවිට ලකුණු 54 කට කඩුලු 6 ක්ම බිඳ වැටී දැඩි පසුබෑමකට ලක්ව සිටි කිංග්ස්වුඞ් විදුහල් ඉනිම තනි අතින් පිළිසකර කළ උපනායක විමුක්ති දිවා ආහාරයෙන් පසුව වගකීම කරපින්නා ගෙන ධර්මරාජ විදුහල් පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණදෙමින් සිය විදුහලේ ගෞරවය රැක දුන්නේය.


ටී.බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලාන සඳහා පැවැත්වෙන කන්ද උඩරට සුලෝහිත ගැටුමේ ඉතිහාසයට අනුව මෙතෙක් පැවැති තරග 110 න් තරග 35 ක් ජයගැනීමට සමත්ව ඇත්තේ ධර්මරාජ විදුහලය. කිංග්ස්වුඞ් විදුහල ජයගෙන ඇත්තේ තරග 19 ක් පමණි.


කිංග්ස්වුඩ් විදුහල පළමු ඉනිම - 167යි.
(විමුක්ති විජේසිරිවර්ධන නොදැවී 87, නිවන්ත හේරත් 4/27, නවින්ද ඩිල්ෂාන් 2/27, ගිහාන් විතාරණ 2/55)


ධර්මරාජ විදුහල පළමු ඉනිම - 41/2යි.
(ගනිඳු කෞෂල්‍ය 2/18)

 

- 077


අදහස් (0)

විමුක්ති කිංග්ස්වුඩ් විදුහලේ ගෞරවය රැක ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.