Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝකෙන්ම උස තර්ජනීට බෑ නොකියා එන්න කියයි

ලෝකෙන්ම උස තර්ජනීට බෑ නොකියා එන්න කියයි

editorial - 2024 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සෞදි අරාබියේදී   සැප්තැම්බර්  26 සිට ඔක්තෝබර් 6 වැනිදා  දක්වා  පැවැත්වෙන 13 වැනි ආසියානු දැල්පන්දු  (නෙට්බෝල් ) තරගාවලියේදී  යළිත්  ශ්‍රී  ලංකා කණ්ඩායමට එක් වන ලෙස හිටපු  ක්‍රීඩිකා 46 හැවිරිදි තර්ජනී  සිවලිංගම්ට ශ්‍රී  ලංකා දැල්පන්දු  සම්මේලනය  ආරාධනා  කර තිබේ.

වසර 2019 කේප්ටවුන්  ලෝක  කුසලාන  දැල්පන්දු  තරග සංචාරයෙන් පසුව  ශ්‍රී  ල‍‍ංකා කණ්ඩායමෙන් ඉවත්ව ගිය ලෝකයේ  උසම දැල්පන්දු  ක්‍රීඩිකාව  ලෙස එතෙක්  සැලකූ තර්ජනී මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව  සිටියි.

මීටර්  2.06 ක් හෙවත් අඩ් 6 අගල් 9 ක් උසැති  තර්ජනී මෙතෙක්  ශ්‍රී  ලංකා දැල්පන්දු  සම්මේලනය නැවත  කළ  මෙම  ඉල්ලීමට  ප්‍රතිචාර  දක්වා  නැතැයිද වාර්තාවේ. ශ්‍රී  ලංකා දැල්පන්දු  සම්මේලනය ශ්‍රී  ලංකා කණ්ඩායමෙන් ඉවත්ව ගිය  ඇගෙන් මීට  පෙරත් මෙම  ඉල්ලීම කළ අතර  එහෙත් ඇය එය ප්‍රතික්ෂේප  කර සිටියාය.

කෙසේ  වූවත් ඇය දැනට පුහුණුවීම් ආරම්භ  කර ඇති ජාතික  දැල්පන්දු  ස‍‍ංච්තයෙන් පිටත අතිරේක  ක්‍රීඩිකාවක් ලෙස නිර්දේශ කිරිමට  දැල්පන්දු  සම්මේලනය තීරණය කර තිබේ. ඇය හැරෙන්නට  දැනට  ආබාධිත  තත්ත්වයන් ගෙන් පසුවන ශ්‍රී  ලංකා දැල්පන්දු  කණ්ඩායමේ හිටපු  නායිකා ගයංජලී අමරවංශ හා තිසාලා අල්ගමද මෙලෙස ඉදිරි ආසියානු  ශූරතා තරග සංචාරය ඉලක්ක කරමින්  අතිරේක ක්‍රීඩිකාවන්  ලෙස  සූදානම්  කර තිබේ.

කෙසේ වුවත්  සෞදි  ආසියානු  තරග සංචාරය සදහා  ක්‍රීඩිකාවන්  12 දෙනෙකුගෙන්  යුත්  ශ්‍රී  ලංකා කණ්ඩායම  නිර්දේශ  කිරිමට  තවත්  කාලයක්  ඉතිරිව  තිබේ.

තත්ත්වය මෙසේ වන අතර දැල්පන්දු   ජාතික  තේරීම්  කමිටුවේ  මතයවී ඇත්තේ ශ්‍රී  ලංකා කණ්ඩායමට නිර්දේශ  ලබා ගැනීමට  නම් අනිවාර්යයෙන්ම  ජාතික  පුහුණු සංචිතයේ අවසන්  තේරීම්  සදහා කැදවීම් ලබන සියලුම ක්‍රීඩිකාවන්  සහභාගි  විය යුතු  බවයි.

වසර  2004  වවුනියාවේදී පැවැති ජාතික  දැල්පන්දු  තරගාවලියට සහභාගි  වෙමින් සිටියදී ඇගේ අසාමාන්‍ය  උස හේතුවෙන් දැඩි  අවධානය දිනා  ගත් තර්ජනී  ෂිවලිංගම් එයින් පසුව ශ්‍රී  ලංකා ජාතික  දැල්පන්දු  සංචිතයට කෑදවා ගෙන  ඒමට එවකට ශ්‍රී  ලංකා දැල්පන්දු  සම්මේලනයේ බලධාරිනියන් කටයුතු කළහ.

එයින්  පසුව වසර  2009 සිට ශ්‍රී  ල‍‍ංකා දැල්පන්දු  ජාතික  කණ්ඩායමට එක්වූ ඇය වසර 2022 දී පැවැති  ආසියානු  දැල්පන්දු  ශූරතා තරගාවලිය ශ්‍රී  ලංකා කණ්ඩායම  දිනා  ගැනීම දක්වා අඛන්ඩව එහි නිත්‍ය  පන්දු  විදින්නිය වූවාය.

මෙකී කාලය තුළදී ඇය ලෝක  කුසලාන  තරගාවලි හතරකදී හා ආසියානු කුසලාන  තරගාවලි පහකදී ශ්‍රී  ල‍‍ංකා කණ්ඩායමට  ක්‍රීඩා  කර ඇත.

ලොව හොඳම  පන්දු  විදින්නිය ( 2011),හොඳම  ආසියානු  පන්දු  විදින්නිය ( 2009 - 2012),වසරේ  හොඳම පන්දු  විදින්නිය  සම්මානය (2017), එස්.එල්.ටී.වසරේ  ජනප්‍රියම ක්‍රීඩිකාව (2019),මාලදිවයින රජය පිරිණමන වසරේ  හොඳම  ක්‍රීඩිකාවට හිමි  සම්මානය (2022)  ඇතුළුව ජාතික  හා ජාත්‍යන්තර  සම්මාන රැසක් දිනා  ගැනීමට  සමත්ව  තිබේ.

තර්ජනී ශ්‍රී  ල‍‍ංකා  කණ්ඩායමෙන්  ඉවත්වීම එයින්  පසුව ශ්‍රී  ල‍‍ංකා  කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවක් පෙනේ.ඒ එයින්   පසුව ශ්‍රී  ල‍‍ංකා දැල්පන්දු  කණ්ඩායමේ  ජාත්‍යන්තර  තරග සහභාගිත්වයේදී පසුබෑම් පෙන්නුම් කරන බැවිණි.ඊට හේතුව පන්දු  විදීමේ ක්‍රීඩිකාව ලෙස ඇය ශ්‍රී  ල‍‍ංකා කණ්ඩායමට තීරණාත්මක දායකත්වයක් දැක්වූ  බැවිණි.

සෞදි  අරාබියේදී  මීළගට පැවැත්වෙන (2024) ආසියානු  දැල්පන්දු  තරගාවලිය  ඇය නොමැතිව   ජය ගැනිම ශ්‍රී  ලංකා  කණ්ඩායමට මේ වන විට දැඩි  අබියෝගයක්  වන ලකුණු  පළ වෙමින් තිබේ.


අදහස් (0)

ලෝකෙන්ම උස තර්ජනීට බෑ නොකියා එන්න කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.