Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෙඩ් සන් පිල නිලවරණ කමිටුවට ලියයි

රෙඩ් සන් පිල නිලවරණ කමිටුවට ලියයි

editorial - 2021 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ගම්පොල පාපන්දු ලීගය සඳහා නීත්‍යානුකූල ලෙස පත් නොවූ බව කියන නිලධාරීන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට සහභාගි වීමට දරන උත්සාහය වළක්වන ලෙස ඉල්ලා ගම්පොල ‘රෙඩ්සන්’ ක්‍රීඩා සමාජයේ ලේකම්වරයා නිලවරණ කමිටුවට ලිපියක් යොමුකර තිබේ.  එහි පිටපතක් ක්‍රීඩා ඇමැතිවරයාට හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාටද යොමුකර තිබේ.

ගම්පොල පාපන්දු ලීගයේ සමාජික ක්‍රීඩා සමාජයක් වන රෙඩ්සන් ක්‍රීඩා සමාජය එම ලිපියෙන් නිලවරණ කමිටුවට දැනුම්දී ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ගම්පොල පාපන්දු ලීගයේ නිලවරණයේදී එහි ලේකම්වරයා ලෙස සුනිල් සේනවීර මහතාගේ පත්වීම පිළිගත නොහැකි බවයි.  එහිදී අත් ඔසවා ඡන්දය විමසීම කළ බවත් සුනිල් සේනවීර මහතාට පක්ෂව ඡන්දය දුන් ක්‍රීඩා සමාජ දෙකක් නිලවරණයට සහභාගිවීමට අවම සුදුසුකම්වත් සපුරා නොමැති බවත් රෙඩ්සන් ක්‍රීඩා සමාජය චෝදනා කරයි.

ගම්පොල පාපන්දු ලීග නිලවරණයේදී සභාපතිධුරයට පත් අපේක්ෂකයන් දෙදෙනාම සම ඡන්ද ලබා තිබෙන බැවින් එහිදී පත්වූ නව සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් සුනිල් සේනවීර මහතා යළිත් ලේකම්ධුරයට පත්ව තිබේ. කෙසේ වුවත් නිලවරණයේදී සිදුවූ බව කියන ව්‍යවස්ථා විරෝධී කටයුතු පිළිබඳව සොයා බලන ලෙසත්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට මේ වනවිට ගම්පොල පාපන්දු ලීගයෙන් නිර්දේශ කර ඇති නියෝජිතයන් තිදෙනා ඊට සහභාගි කිරීම වළක්වන ලෙසත් ලිපියෙන් රෙඩ්සන් ක්‍රීඩා සමාජය වැඩිදුරටත් අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී පාපන්දු  සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසුවේ ගම්පොල පාපන්දු ලීගයේ නිලවරණය නිරීක්ෂණය කිරීමට තමන් එහි ගිය බවත් එහිදී කිසිදු අකටයුත්තක් ලීගයේ ව්‍යවස්ථාවට පටහැනිව සිදුවනු තමන්ට නිරීක්ෂණය නොවූ බවත්ය. එහිදී කිසිදු විරෝධතාවයක් පැන නොනැගුණු බවත් ඔහු පැවසීය.

 එහිදී තීරණවලට පැමිණියේ සභාවේ රැස්ව සිටි නියෝජිතයන්ගේ එකඟතාවයෙන් බවත් මේ වනවිට පාපන්දු සම්මේලනයේ නිලවරණයට ගම්පොළ පාපන්දු ලීගයෙන් නිර්දේශ කළ නියෝජිතයන් පැමිණීම වැළැක්වීමට දරණ උත්සාහයක් ලෙස මෙම සිද්ධිය තමන්ට පෙනී යන බවත් පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා පැවසීය.

 


අදහස් (0)

රෙඩ් සන් පිල නිලවරණ කමිටුවට ලියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.