Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාලිංග 26 දා එක්දින පිටියෙන් සමුගනී

මාලිංග 26 දා එක්දින පිටියෙන් සමුගනී

යොහාන් භාසුර - 2019 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ පිලට එරෙහිව ලබන සිකුරාදා (26 වැනිදා) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
 
බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹදී අද (22) පැවැති මාධ්‍ය හමුවේදී මොහාන් ද සිල්වා මහතා පුහුණුකරුවන් පිළිබඳව ඇති වී ඇති ව්‍යාකූල තත්ත්වය පිළිබඳව ද මෙසේ පැවසීය.

“ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රධාන පුහුණුකරු පමණක් නොවෙයි සියලුම පුහුණුකරුවන් ඉවත් කරන්න ලිඛිතව දන්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියට අනුව ඇමතිවරයාට නිර්දේශය ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. අපි මෙය හොඳ විදියට විසඳගන්න බලාපොරොත්තු වෙනවා”

“අපි මෙහිදී කටයුතු කරන්නේ වෘත්තිය මට්ටමේ පිරිසක් සමගයි. අපිට පුහුණුකරුවන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ තිබෙන නම එතරම් හොඳ නෑ”යැයි මොහාන් ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසුවේ මෙය තමන්ගේ අවසන් තරගාවලිය නොවන බවත් පුහුණුකරුවන් ඉවත්කිරීමක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බවත්ය.  
 
ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පැවසුවේ ශ්‍රී ලංකාවේ තණතීරුවලට සහ පරිසරයට ගැලපෙන ක්‍රීඩකයන් මෙම සංචිතයට නම් කර ඇති බවයි. ලෝක කුසලාන තරගාවලියේදී අතිරේක ක්‍රීඩකයන් ලෙස සහභාගි වූ ඕෂද ප්‍රනාන්දු සහ ඇන්ජලෝ පෙරේරා සංචිතයෙන් ඉවත්කිරීම පිළිබඳව දිමුත් මෙසේ අදහස් දැක්වීය.

“ලෝක කුසලාන තරගාවලියේ අතිරේක ක්‍රීඩකයන් ලෙස ඇතුළත්ව සිටි එම ක්‍රීඩකයන් දෙදෙනා සූදානම් කළේ එංගලන්ත තණතීරුවලටයි. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවෙයි. ඒ නිසයි ඒ දෙපළට ස්ථාන අහිමිවුණේ”

බංග්ලාදේශ පිලේ තාවකාලික නායක තමීම් ඉක්බාල් පැවසුවේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව සහ පහසුකම් පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායමේ සියලුම දෙනා ඉතාමත් සතුටු වන බවයි.

 


අදහස් (0)

මාලිංග 26 දා එක්දින පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.