(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පැවැති (2022-23) නිලවරණයට ඉදිරිපත් වූ පාර්ශ්වයක් විසින් ගොනුකළ විරෝධතාවයක් මෙතෙක් විභාගයට නොගැනීම ගැන තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාට නියම කර තිබේ. එහි විශේෂත්වය වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වත්මන් ලේකම් ධුරයේ කටයුතු කරන අමල් හර්ෂ ද සිල්වා මහතා මතභේදයට තුඩුදුන් පාපැදි සම්මේලනයේ එකී නිලවරණයේ දී සභාපති ධුරයට පත්වීමයි.
එම ධුරයේ කටයුතු කරමින් සිටි සිල්වා මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ධුරයට නොබෝදා පත්වීමෙන් පසුව පාපැදි සම්මේලනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේය. පාපැදි සම්මේලනයේ සභාපති ධුරය ඒ හේතුවෙන් තවදුරටත් හිස්ව පවතී.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ලේකම්වරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 18 වැනි වගන්තිය යටතේ මෙම දැනුම්දීම කෙරෙන බවයි.
පසුගිය මැයි 20 වැනිදා පැවැති පාපැදි සම්මේලන නිලවරණයේ දී සභාපති ධුරයට නාම යෝජනා බාර දුන් එහි හිටපු උප සභාපතිවරයකු වන බී.ජේ. සුමනසේකර මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කළ අදාළ අභියාචනයෙන් කියා සිටියේ එදින පැවැති නිලවරණය ක්‍රීඩා පනතට හා පාපැදි සම්මේලනයේ ව්‍යවස්ථාවට පටහැනිව පැවැත්වීමෙන් තමන් නියෝජනය කරන පාර්ශ්වයට අසාධාරණයක් සිදුවූ බවයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස මෙම අභියාචනයෙන් ඉල්ලා තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.