
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ කුසලාන වටය යටතේ මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර සෙනසුරාදා (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 42-17 ක පහසු ජයක් වාර්තා කළ මහනුවර ක්‍රීඩා සමාජය කල් තියාම අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය.
මෙය මෙවර තරගාවලියේදී මහනුවර කණ්ඩායම ලැබූ හත්වැනි ජය මෙන්ම හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව ලැබූ දෙවැනි ජයද විය. ප්‍රසාද ලකුණද සමග ලැබූ මෙම ජයග්‍රහණය හේතුවෙන් මහනුවර කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 51 ක් දක්වා ඉහළ ගියේය. එහිදී ලැබූ පරාජය හේතුවෙන් හැව්ලොක්ස් කණ්ඩායමට අවසන් තරගය කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 15-10 ක් ලෙස පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී මහනුවර ක්‍රීඩකයන් ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර හැව්ලොක්ස් ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධයේදී මහනුවර ක්‍රීඩකයන් ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 27 ක් එක්කර ගැනීමට සමත් වෙද්දී, හැව්ලොක්ස් ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව නියමිත වේලාව අවසන් වන විට මහනුවර කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 42-17 ක පහසු ජයක් හිමිවිය.
මහනුවර කණ්ඩායම වෙනුවෙන් දිනාල් ඒකනායක උත්සාහක දිනුම් 2 ක්ද, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, දිලුක්ෂ දංගේ, හේෂාන් ජැන්සන් සහ ශාහිඩ් සුම්රි එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත් අතර හිරුෂ සම්පත් ප්‍රවර්ථන 3 ක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගත්තේය. මහනුවර කණ්ඩායම වෙනුවෙන් සෙසු දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ ශාහිඩ් සුම්රි විසිනි.
එහිදී හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් අමීර් ෆාජුඩීන් සහ විදෙස් ක්‍රීඩක වුනකි වකනිබවු උත්සාහක දිනුම් ලබාගත් අතර එම උත්සාහක දිනුම් දෙකේ ප්‍රවර්ථන සහ දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට නබීල් යහිය සමත් විය. මෙම තරගයේදී හැව්ලොක්ස් කණ්ඩායමේ අමිටුනායි විසේසියෝ කහ කාඩ්පතක්ද, මහනුවර කණ්ඩාමේ දිලුක්ෂ දංගේ රතු කාඩ්පතක්ද ලබා පිටියෙන් ඉවත්ව ගියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.