නාමල් පතිරගේ
දින හැටකින් සිය මලල ක්‍රීඩා කෙටි කාළීන හා දිගු කාළීන සංවර්ධන සැලැස්ම සකස් කර එහි අධීක්ෂණය සදහා විශේෂ කමිටුවක් පත් කරන බව මලල ක්‍රීඩා ආයතනයේ සභාපති අපේක්ෂක බිමල් ප්‍රසන්න විජයසිංහ මහතා පවසයි.
ලබන බ්‍රහස්පතින්දා (12) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණයට (2026 -27) සිය සභාපති අපේක්ෂකත්වයෙන් තරග වදින පාර්ශවය හඳුන්වාදීමේ මාධ්‍ය හමුවකදී විජයසිංහ මහතා ඒ බව පැවැසීය.
මෙවර මලල ක්‍රීඩා නිලවරණයට ඉදිරිපත්ව සිටින තමන් පැරෂූට්කාරයෙක් ලෙස හැඳින්වීමට ඇතැමුන් දරන උත්සාහය ගැන ඔහු පැවැසුවේ මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ රටේ මලල ක්‍රීඩාව ගොඩ ගැනීමට ඉදිරිපත් වන පුද්ගලයන්ගේ තරාතිරම සෙවීම නොව ඔවුන්ගෙන් ක්‍රීඩාවට සිදු වන සේවය පිළිබදව විචාරය කිරීම බවත්ය.
" හැබැයි පැරෂූට්කාරයෙක් කියලා මට කියන්න හදන අයට කියන්නේ මම මලල ක්‍රීඩා නිලවරණයට ඉදිරිපත් වුණේ සැබෑ සුදුසුකම් මත නිලවරණ කමිටුවේ අනුමැතියෙන් බවයි." ඔහු එහිදී පැවැසීය.
බිමල් ප්‍රසන්න මහතා කෙටුම්පත් කර ඇති සිය මලල ක්‍රීඩා සංවර්ධන සැළැස්ම මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ට ඉදිරිපත් කර සිටියේය.
සියලු මලල ක්‍රීඩා දිස්ත්‍රික් සංගම් වෙත සමානාත්මතාවයෙන් සැලකීම, පාරදෘශ්‍ය අය වැයක් සහිතව දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීම,මලල ක්‍රීඩා ආයතනයේ විගණනය කළ ගිණුම් වාර්තා ප්‍රසිද්ධ කිරීම,මලල ක්‍රීඩා අන්තර් ජාල මාධ්‍ය දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීම,සම්පත් ඌනතා සහිත දිස්ත්‍රික් සදහා මලල ක්‍රීඩා උපකරණ ප්‍රදානය, වයස 14 න් පහළ හා16 න් පහළ හා විනෝදය සදහා වන මලල ක්‍රීඩා තරග සංවිධානය, මලල ක්‍රීඩා තාක්ෂණ නිලධාරීන් හා පුහුණුකරුවන් සදහා ඇගයීමේ සම්මාන උත්සව පැවැත්වීම හා ඔවුන් විදෙස් පුහුණු හා වැඩ මුළු සදහා සහභාගි කිරීම.
ගමන් වියදම් හා වෙනත් අපහසුතා අවම කිරීමට කලාපීය පුහුණු සංචිත පවත්වා ගෙන යාම, ආර්ථික අපහසුතා ඇති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනා ගනිමින් අවශ්‍ය අනුග්‍රාහය ඔවුන්ට සැපයීම ආදී වැඩ සටහන් රැසක් එම සංවර්ධන සැලැස්මට ඇතුළත් වේ.
මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ (එවකට සංගමය) හිටපු සභාපතිවරයකු වන සුනිල් ජයවීර මහතා සභාපති අපේක්ෂක බිමල් විජයසිංහ මහතාට නිලවරණයේදී සහයෝගය දැක්වීමට තමන් ඉදිරිපත් වූයේ හුදෙක් රටේ මලල ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන්ම පමණක් බවත් එහිදී ඔහුගේ ජයග්‍රහණයෙන් පසුව කිසිදු තනතුරක් තමන් අපේක්ෂා නොකරන බවත් පැවැසීය.
ලේකම් ධූර අපේක්ෂක මාධව බන්ඩාර සෙනරත්, භාණ්ඩාගාරික ධූර අපේක්ෂිකා රසිකා නිලංගනී, කාරක සභීක ධූර ප්‍රසන්න අළුවිහාරේ, උප සභාපති ධූර අපේක්ෂක ජයන්ත සියමුදලි හා මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු හා හිටපු ජාතික යගුලිය විසි කිරීමේ ශූර තලවොව් අලයිලීමා යන මහත්ම මහත්මීහුද එහිදී අදහස් දැක්වූහ.
හිටපු ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ.කුලරත්න හා මලල ක්‍රීඩා ආයතනයේ හිටපු උප සභාපතිවරයකු වන එච්.ඩබ්ලිව්.නිමල්සිරි යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.