Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩා තේරීම් තරග හෙට - අනිද්දා දියගමදී

මලල ක්‍රීඩා තේරීම් තරග හෙට - අනිද්දා දියගමදී

editorial - 2022 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික මලල ක්‍රීඩා සංචිතවල දැනට කල් ගෙවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩාත්ම තීරණාත්මක මලල ක්‍රීඩා තේරීම් තරගාවලියක් හෙට සහ අනිද්දා (10 – 11) දියගම ‘‘මහින්ද රාජපක්‍ෂ’’ පිටියේ දී පැවැත් වේ. එහි විශේෂත්වය වසර 2018 න් පසුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය දියගමදී පවත්වන පළමු මලල ක්‍රීඩා තරගාවලිය එය වීමයි.

වසර 2020 දී අතුරා අවසන් කළ එහි නව කෘතිම ධාවන පථයේ දී ධාවන ඉසව් පැවැත්වෙන පළමු අවස්ථාවත් මෙය වේ.  වසර 2020 වනවිට දියගම පිටියේ කෘතිම ධාවන පථයේ ඉදිකිරීම් නිමවී තිබුණත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දේශීය මලල ක්‍රීඩා තරග ඉසව් රැසක් අත්හිටුවීම එහි තරග පැවැත්වීමේ ප්‍රමාදයට හේතු විය.

හෙට සහ අනිද්දා පැවැත්වෙන මෙම මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය ළඟ එන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් තෝරගනු ලබන දෙවැනි තේරීම් තරගාවලියයි.

චීනයේ හැන්ග්සූයු නුවර දී 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් 16 සිට 22 වැනිදා දක්වාය. ඒ සඳහා සුදුසුකම් ලබාගන්නා සීමිත පිරිසකගෙන් යුත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් ඊට සහභාගී කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සූදානම් වේ.

ඒ හැරෙන්නට එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායමත් නිර්දේශ කෙරේ. එය අගෝස්තු 2 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්වේ.

ආසියානු ක්‍රීඩා උළෙලේ සහභාගීත්වය සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසුකම් ලබාගත යුතු වුවත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා එවැනි නිර්දේශයක් නැත.  කෙසේ වුවත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ද සීමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර තිබේ. ඒ සඳහා නම් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාවය මැන බැලෙන විශේෂ තේරීම් තරගාවලියක් ජූලි 2 වැනිදා පැවැත්වෙන බව මලල ක්‍රීඩා ආයතනය පවසයි.

චීනයේ දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ සහභගීත්වය සඳහා වඩා ආසන්න වී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් දැනට හඳුනාගෙන තිබේ. ඒ මීටර් 400 x 4 ශ්‍රී ලංකා (පිරිමි) කණ්ඩායම, මීටර 4x100 ශ්‍රී ලංකා (කාන්තා) කණ්ඩායම, උස පැනීම (පිරිමි), දුර පැනීම (කාන්තා), මීටර 800 (කාන්තා), මීටර 1500 (කාන්තා) යන ඉසව්වන්ගෙන් දැනට ජාතික සංචිතයේ කල් ගෙවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ අතරින් කැපී පෙනේ.

හෙට පෙරවරු 6.30ට මීටර 10,000 (පිරිමි) ඉසව්වෙන් දියගම දී තේරීම් තරගාවලිය ආරම්භ වේ. දින දෙකේදී මලල ක්‍රීඩා ඉසව් 29 ක් පැවැත්වේ.

මේ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ශත සංවත්සරය සැමරුමට සමගාමීව 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ලබන අප්‍රේල් 8, 9, 10 යන දිනවල කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම තරගාවලිය කලින්ම පවත්වා අවසන් කිරීමට තීරණය කර ඇත්තේ එය ආසියනු ක්‍රීඩා උළෙල හා පොදු රදමඩුලු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් නිර්දේශ කෙරෙන අවසන් තේරීම් තරගාවලිය බවට එය පත්ව තිබෙන බැවිනි.

මේ අතර මලල ක්‍රීඩා තේරීම් කමිටුව අවධාරණය කරන්නේ හෙට සහ අනිද්දා පැවැත්වෙන දෙවැනි තේරීම් තරගාවලියේ දී දැනට ජාතික මලල ක්‍රීඩා සංචිතයේ කල්ගෙවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුබෑම් පෙන්නුම් කළහොත් ඔවුන් සංචිතයෙන් ඉවත්කරන බවයි.  ඒ අනුව දැනට එසේ ජාතික සංචිතයේ කල්ගෙවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන් දැනට පෙන්වා තිබෙන දස්කම්වල වර්ධනයක් පෙන්නුම් නොකෙරෙන්නේ නම් සංචිතයේ ඔවුන්ගේ ස්ථානය තහවුරු කර ගැනීම අසීරු වනු ඇත.  ඒ වෙනුවට දක්‍ෂතා අතරට පැමිණෙන නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික සංචිතයේ දොරටු විවර වනු ඇත.

‘‘සුපිරි හා ජාතික’’ යන කාණ්ඩ දෙකේ මලල ක්‍රීඩා සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 65 දෙනෙක් පමණ කල් ගෙවති.

 


අදහස් (0)

මලල ක්‍රීඩා තේරීම් තරග හෙට - අනිද්දා දියගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.