Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩා උසස් සංචිතය අත්හිටුවයි

මලල ක්‍රීඩා උසස් සංචිතය අත්හිටුවයි

editorial - 2024 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රැස්වීම් වාර දෙකකට කළ කැඳවීම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැහැර හැරීම නිසා මලල ක්‍රීඩා උසස් කාර්යසාධන සංචිතය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ඊයේ (2 වැනිදා) තීරණය කළේය.

ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා දැනුවත් කරමින් ඊයේම ඔහුට ලිපියක් යොමු කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තවදුරටත් කටයුතු කළේය.

මෙරට ශ්‍රේණිගත කිරීම්වලදී ඉහළින්ම සිටින නම ගිය ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 14 දෙනෙක් උසස් කාර්යසාධන සංචිතයට ඇතුළත්ව සිටිති. මෙම සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ඇතුළුව තවත් පහසුකම් රැසක් ලබති.

සංචිතයේ ඉදිරි කටයුතු ප්‍රවර්ධනය සඳහා ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට පසුගිය දෙසැම්බර් 26 වැනිදා ඔවුන්ට කැඳවීම් කළත්, එහිදී සහභාගි වී ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවු දෙනකු පමණි.

ඒ අනුව, එදින රැස්වීම අවලංගු කර, ඊයේ (2 වැනිදා) ඔවුන්ට නැවත කැඳවීම් කළ අතර, ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනකු පමණි.

ඊයේ කැඳවීම් අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට පැමිණ සිටියේ මීටර් 400x4 සහාය දිවීමේ ක්‍රීඩකයන් වන රාජිත රාජකරුණා. පබසර නිකූ, දේෂාන් ධනංජය, මීටර් 800 ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න, හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා ඩිලානි ලේකම්ගේ, අලුතින් සංචිතයට ඇතුළත් කර සිටින සහාය දිවීමේ ක්‍රීඩිකාවන් වන එච්.අයි. උත්තරා, හර්ෂණී ප්‍රනාන්දු සහ සයුරි මෙන්ඩිස්ය.

කෙසේ වුවත්, උසස් පෙළ විභාගයට පෙනී සිටින බැවින් තමන්ට ඊයේ දිනයේ කළ කැඳවීම්වලට සහභාගි විය නොහැකි බව ආසියානු රන් පදක්කම්ලාභී මලල ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න දැනුම් දී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා, ලබන සතියේ බ්‍රහස්පතින්දා (11 වැනිදා) මලල ක්‍රීඩා උසස් කාර්යසාධන සංශෝධිත සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනාට නැවත කැඳවීම් ලිපියක් යොමු කරන බවත්, ඊට ඔවුන් ප්‍රතිචාර නොදක්වන්නේ නම්, සංචිතය තවදුරටත් පවත්වාගෙන යාම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවත් පැවැසීය.

මලල ක්‍රීඩා උසස් කාර්යසාධන සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුණගැසී සාකච්ඡා කිරීම සඳහා මලල ක්‍රීඩා ආයතනයට එහි සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන, උප සභාපති (පුහුණු කටයුතු බාර) ලාල් චන්ද්‍රකුමාර, පුහුණු අධ්‍යක්ෂ අයි.එම්. රණසිංහ, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ජෑන්ස් දිසානායක හා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නියෝජිතයෙක් පැමිණ සිටියහ.

මීටර් 400 ක්‍රීඩකයන් වන අනුර දර්ශන, කාලිංග කුමාරගේ, පී.එම්.පී.එල්. කොඩිකාර, මීටර් 400 ක්‍රීඩිකා නදීෂා රාමනායක උසස් කාර්යසාධන සංචිතයේ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.


අදහස් (0)

මලල ක්‍රීඩා උසස් සංචිතය අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.