ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය, නෙස්ලේ ලංකා සමාගමේ පූර්ණ අනුග‍්‍රහයෙන් 23 වැනි වරට සංවිධානය කරන අන්තර් පාසල් ‘මයිලෝ’ කුසලාන දැල්පන්දු තරගාවලියේ පළමු අදියර තරග කණ්ඩායම් 1100 කට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් මේ මස 16 වැනිදා සිට ජූනි මස 8 වැනිදා දක්වා පැවැත්වේ.
මෙවර තරගාවලිය වයස 13 න්, 14 න්, 16 න් සහ 18 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ පැවැත්වේ. වයස 14 න්, 16 න් සහ 18 න් පහළ යන වයස් කාණ්ඩ තරගාවලි ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ. ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 4 ද, ‘බී’ කාණ්ඩයේ අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් 2 ද, සමස්ත ලංකා වටයට සුදුසුකම් ලබයි.
ශිෂ්‍ය සංඛ්‍යාව 1000 ට වැඩි පාසල් ‘ඒ’ කාණ්ඩයේ ද, 1000 ට අඩු පාසල් ‘බී’ කාණ්ඩයේ ද, ක‍්‍රීඩා කරයි.
පාසල් දැල්පන්දු සංගමයේ ලේකම් ශිරෝමි කුරුප්පු මහත්මිය පැවසුවේ මෙවර තරගාවලියට මේ වන විට පාසල් 758 කින් කණ්ඩායම් 1137 ක් අයැදුම්පත් යොමුකර ඇති බවයි.
වයස 13 න් පහළ තරගාවලියේ මධ්‍යස්ථානයකින් කණ්ඩායම් 6 ක් සමස්ත ලංකා තරගාවලියට සුදුසුකම් ලබයි. වයස 13 න් පහළ තරගාවලියේ සමස්ත ලංකා තරගාවලියේ ශූරතා කුසලාන සඳහා අවසන් තරග නොපැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් අටට රතු වර්ණ සහතික පිරිනැමේ. පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජය වන කණ්ඩායම් අටට නිල් වර්ණ සහතික ප‍්‍රදානය කෙරේ.
පළමු අදියර සමස්ත ශ්‍රී ලංකාව නියෝජනය වන පරිදි මධ්‍යස්ථාන 15 කදී පැවැත්වේ.
අම්පාර (මැයි 16 සහ 17), මහනුවර (මැයි 24 සහ 25), මාතලේ (මැයි 27), කොළඹ (මැයි 28 සහ 29), අනුරාධපුරය (මැයි 28 සහ 29), කුරුණෑගල (මැයි 28 සහ 29), යාපනය (මැයි 29), කළුතර (මැයි 30), හෝමාගම (මැයි 31 සහ ජූනි 01), රත්නපුර (ජූනි 01), ගාල්ල (ජූනි 02), පුත්තලම (ජූනි 02), බදුල්ල (ජූනි 02 සහ 03), මාතර (ජූනි 03), ගම්පහ (ජූනි 07 සහ 08) යන දිනවලදී තරග පැවැත්වේ.
අනුග‍්‍රහය පිරිනැමීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාසල් දැල්පන්දු සංගමයේ සභාපති, කොළඹ විශාඛා විදුහලේ විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොල මහත්මිය පැවසුවේ සමස්ත ලංකා තරගාවලිය පැවැත්වෙන දිනය සහ ස්ථානය පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
‘නෙස්ලේ’ ලංකා සමාගමේ උප සභාපති නෝමන් කන්නංගර මහතා විසින් පාසල් දැල්පන්දු සංගමයේ සභාපතිනි සඳමාලි අවිරුප්පොල මහත්මියට අනුග‍්‍රහයක චෙක්පත නිල වශයෙන් පිරිනමන ලද අවස්ථාව.
පාසල් දැල්පන්දු සංගමයේ ලේකම් ශිරෝමි කුරුප්පු, නෙස්ලේ සමාගමේ උප සභාපති (සාමූහික කටයුතු) බන්දුල එගොඩගේ (වමේ) සහ පාසල් දැල්පන්දු සංගමයේ භාණ්ඩාගාරික එස්. විතානවසම් සහ තරගාවලි ලේකම් ඩෙසීමා ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීහු (දකුණේ) ඡයාරූපයේ වෙති.
(ඡායාරූපය: සමන්ත පෙරේරා)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.