Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බේරුවල කොට්ඨාස ක්‍රීඩා සමාජ ශූරතාව පාත් ක්‍රීඩා සමාජයට

බේරුවල කොට්ඨාස ක්‍රීඩා සමාජ ශූරතාව පාත් ක්‍රීඩා සමාජයට

editorial - 2024 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

2024 ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වණු ලැබූ  බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ අන්තර් ක්‍රීඩා සමාජ සමස්ත ක්‍රීඩා ශූරතාවය දිනා ගැනීමට ‘පාත්‘ක්‍රීඩා සමාජය සමත් විය. අලුත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා (23) පැවති ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් සමගින් මෙම තරගාවලිය නිමාවට පත්විය. 

සමස්ත ලකුණු සටහනේදී ලකුණු 138 ක් හිමිකරගත් පාත් ක්‍රීඩා සමාජය ශූරතාව දිනාගත් අතර ලකුණු 102 ක් ලබාගත් ස්ටාර්ලයිට් ක්‍රීඩා සමාජය එහි අනුශූරතාවය හිමිකරගත්තේය. 

ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ තරුණ තරුණියන්ට නොමිලේ මලල ක්‍රීඩා පුහුණුව ලබාදෙන ‘පාත්‘ ඇකඩමියේ පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේදී වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් ලබාගත්හ.  තරග සඳහා සහභාගි වූ එම ක්‍රීඩා සමාජයේ බහුතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් බේරුවල කොට්ඨාසය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික් තරගාවලියට  සහභාගි වීම සඳහා සුදුසුකම් ලැබීමත් විශේෂත්වයකි. 

ක්‍රීඩා සමාජ 11 ක් තරග වැදුණු  මලල ක්‍රීඩා උළලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් තුන්පිම්ම ඉසව්ව ජයගත් එච්. පී. ටී. වර්ණකුලසූරිය සම්මාන දිනාගත්තේය. .කාන්තා මීටර 100 ඉසව්ව ජයගත් කුශානි මධුශිකා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ජයසංකේත ලැබුවාය. 

අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහල මළල ක්‍රීඩා තරගාවලියේදි බාලක සහ බාලිකා ශූරතා දිනාගැනීමට පිළිවෙලින් පයාගල සිරිකුරුස විදුහල සහ අලුත්ගම සංඝමිත්තා බාලිකා විදුහල සමත් විය.  එම වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස පිළිවෙලින් පොතුවිල මහ විද්‍යාලයේ පන්සිලු ආකාශ් සහ අලුත්ගම සංඝමිත්තා විදුහලේ ඉනරි හසාරා සම්මාන දිනාගත්හ. 

ක්‍රීඩා උළෙලේ ත්‍යාග ප්‍රදානය ඔලිම්පික් ක්‍රීඩිකා ජයමිනී ඉලේපෙරුම මහත්මිය සහ බේරුවල  ප්‍රාදේශීය ලේකම් රන්ජන් පී පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ක්‍රීඩා නිලධාරිනිය ලෙස කටයුතු කරන ඔලිම්පික් ක්‍රීඩිකා නිම්මි ද සොයිසා මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම ක්‍රීඩා උළලේදී ජයග්‍රාහකයින්ට කුසලාන, පදක්කම් සහ සහතික පත්වලට අමතරව පුහුණුවීම් සඳහා අවශ්‍ය උපකරණ පිරිනැමීමට ද කටයුතු සලසා තිබිණ. මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානයකදී මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට  ක්‍රීඩා උපකරණ ලබාදීමට කටයුතු කර තිබුනේ වසර ගණනාවකට පසුවය. 


අදහස් (0)

බේරුවල කොට්ඨාස ක්‍රීඩා සමාජ ශූරතාව පාත් ක්‍රීඩා සමාජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.