
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී පොලිසියට එරෙහිව ලකුණු 29-10 ක පහසු ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සෙනසුරාදා (28 වැනිදා) සමත් විය.
මෙවර අන්තර් සමාජ පළමු පෙළ ලීග් තරගාවලිය තුළ මෙම කණ්ඩායම් දෙක තරග වැදුණු අවස්ථාවේදී පොලිසියට එරෙහිව ලකුණු 24-17 ක ජයක් වාර්තා කිරීමටද හැව්ලොක්ස් කණ්ඩායම සමත්ව සිටියේය. ඉන් අනතුරුව හැව්ලොක්ස් කණ්ඩායම ලීග් තරගාවලියේ කුසලාන ශූරතාව වෙනුවෙන්ද, පොලිසිය පළඟ ශූරතාව වෙනුවෙන්ද තරග වැදිණ.
හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා පැවැති මෙම පිළිමළුන් පිටුදැකීමේ තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-10 ක් ලෙස හැව්ලොක්ස් කණ්ඩායම පෙරමුණ ගත්තේය. එහිදී හැව්ලොක්ස් ක්‍රීඩකයන් ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර පොලිස් ක්‍රීඩකයන් ලකුණු රැස්‍කළේ උත්සාහක දිනුම් 2 ක් මගිනි.
දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් සිය ලකුණු සංඛ්‍යවට තවත් ලකුණු 12 ක් එක්කරගත් හැව්ලොක්ස් ක්‍රීඩකයෝ, පොලිස් ක්‍රීඩකයන්ට එහිදී එකදු ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදුන්හ. ඒ අනුව නියමිත කාලය නිමාවට පත්වෙද්දී ලකුණු 29-10 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.
හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් විදෙස් ක්‍රීඩක වුනාකි වකනිබාවු, දිල්ෂාන් කොදාගොඩ, අමීර් ෆාජුඩීන් සහ සුදේෂ් ජයවික්‍රම උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් 2 ක ප්‍රවර්ථන සහ දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට නබීල් යහිය සමත් විය. චතුර දිල්ෂාන්ද එක් ප්‍රවර්ථනයක් සාර්ථක කරගත්තේය. පොලිසිය වෙනුවෙන් සුජාන් කොඩිතුවක්කු සහ හේෂාන් කල්හාර උත්සාහක දිනුම් ලබාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.