Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොදු රාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා කණ්ඩායම නම්කරයි

පොදු රාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා කණ්ඩායම නම්කරයි

editorial - 2022 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 24කට පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා මලල ක්‍රීඩා පදක්කමක් දිනාගැනීමේ අභිලාෂයෙන් එළඹෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනකුගෙන් සමන්විත මලල ක්‍රීඩා කණ්ඩායමක් නිර්දේශ කර තිබේ.

ඊට ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් සිව් දෙනකු  බැගින් ඇතුළත් වන අතර ඉන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු මේ වනවිට විදේශයන්හි ගත කරමින් පුහුණුවීම් හදාරමින් සිටිති.

වසර 2022 ට නියමිත 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා  තරගාවලිය  පැවැත්වීමට නියමිතව ඇත්තේ එංගලන්තයේ බර්මින්හැම් නුවරදී ලබන අගෝස්තු 2 වැනිදා සිට 7 වැනිදා දක්වාය.

‘දියගම’ දී නිමාවට පත්වූ ශත සංවත්සර ජාතික මලල ක්‍රීඩා තරගාවලිය තේරීම් තරගාවලියක් ලෙස යොදා ගනිමින් බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව සිය  අවසන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.  මේ හමුවේ ලබන සැප්තැම්බර් 16 සිට 22 වැනිදා දක්වා චීනයේ  ‘හන්ජෝ’ නුවරදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් නිර්දේශ කිරීමට ද තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

පොදුරද මඩුලු ශ්‍රී ලංකා කණ්ඩායමට නිර්දේශ වූ යුපුන් අබේකෝන් ඉතාලියේ කල් ගෙවන අතර ඔහු ඉකුත්දා ඉතාලියේ පැවැති තරගාවලියකදී මීටර 150 (පිරිමි)  ඉසව්ව තත්පර 15.16කට නිමා කරමින් ආසියානු ක්‍රීඩකයකු වෙතින් මෙතෙක් එහි පළමු හොඳම දක්ෂතාවය දැක්වීමට සමත් විය. ඔහු මීටර 100 (පිරිමි)  ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවට (තත්පර 10.15) හිමිකම් කීවේද ඉතාලියේ සැවෝනා නුවරදී තරග වදිමිනි. ඒ පසුගිය 2021 මැයි 13 වැනිදා තරග වදිමිනි. ඔහු ටෝකියෝ ඔලිම්පික් උළෙලට (2020) තරග වැදී මූලික වටයේදී පරාජයට පත් විය.

උස පැනීම (පිරිමි) ඉසව්වෙන් පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලට නිර්දේශ ලබාගත් උෂාන් තිවංක පෙරේරා ඇමරිකාවේ වෙසෙන අතර ඔහු එම ඉසව්වේ ජාතික වාර්තාව ටෙක්සාස් ප්‍රාන්ත තරගාවලියේදී මීටර 2.30කට හිමිකර ගත්තේ 2021 මැයි 8 වැනිදාය. මේ අතර ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික මැරතන් ක්‍රීඩකාවන් වන හිරුණිකා  විජේරත්න 2019 කත්මන්ඩු සාග් ක්‍රීඩා උළෙලෙන් පසුව පළමු වතාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග බිමට පිවිසෙන්නේ මෙම පොදුරද මඩුලු තරගාවලියෙනි. එහිදී ඇය පැය 2 විනාඩි 41 තත්පර 27කට මැරතන් (කාන්තා) රන් පදක්කම දිනා ගත්තාය. පැය 2 විනාඩි 34තත්පර 10කට ඇය සතුව ඉසව්වේ ජාතික වාර්තාව පවතින්නේ 2019 සිටය.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මෙතෙක් රන්, රිදී හා ලෝකඩ එක්  පදක්කමක් බැගින් පමණක් දිනා තිබේ. එහිදී දිනාගත් එකම රන් පදක්කම සතු වන්නේද ඔලිම්පික් පදක්කමක් මෙතෙක් දිනා ඇති එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වන ඩන්කන් වයිට් වෙතය. ඒ 1950 ඕක්ලන්ඩ් උළෙලේදී යාර 440 කඩුලු (පිරිමි) ඉසව්වෙනි.

ඒ හැරෙන්නට 1998 ක්වාලාලාම්පූර් උළෙලේදී ශ්‍රියානි කුලවංශ (මීටර 100 – කඩුලු - කාන්තා) හා සුගත් තිලකරත්න (මීටර 400 - පිරිමි) පිළිවෙලින් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර පදක්කමක් මලල ක්‍රීඩාවෙන් දිනා ගන්නේ නම් ඒ වසර 24කට පසුවය.

 

22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට නිර්දේශිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා  කණ්ඩායම.
♦ පිරිමි:- යුපුන් අබේකෝන් (මීටර 100), උෂාන් තිවංක (උස පැනීම), සුමේධ රණසිංහ (හෙල්ල විසි කිරීම) හා කාලිංග කුමාරගේ (මීටර 400)
♦ කාන්තා:-  සාරංගි සිල්වා (දුර පැනීම), හිරුණි කේසරා විජේරත්න (මැරතන්), ගයන්තිකා අබේරත්න (මීටර 800, මීටර 1500) හා තිලානි රත්නායක (මීටර 3000 - බාධක)


අදහස් (0)

පොදු රාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා කණ්ඩායම නම්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.