Last Update  :  2025-12-16 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් පැසිපන්දු තරගාවලියේ අවසන් තරග දෙකක් අතරමග

පාසල් පැසිපන්දු තරගාවලියේ අවසන් තරග දෙකක් අතරමග

editorial - 2025 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමයේ පවතින අකාර්යක්‍ෂමතාව නිසා 2024 වසර සඳහා වන 15 න් පහළ බාලිකා (‘ඒ‘ කොටසේ) අවසන් තරගයත් 2025 වසර සඳහා වන 17 න් පහළ බාලිකා (‘ඒ‘ කොටසේ) අවසන් තරගයත් තවම පවත්වා නැත. මේ හේතුවෙන් සමස්ත දිවයිනේම පාසල් බාලිකා පැසිපන්දු තරඟාවලි අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති අතර ක්‍රීඩිකාවන්ගේ නියමිත වයස ඉක්මවා යාම ඒ සම්බන්ධයෙන් පවතින ප්‍රධානතම ප්‍රශ්නය වී තිබේ. 

මේ හේතුවෙන් පාසල් ක්‍රීඩිකාවන්ට නිසි වයස් කාණ්ඩයේදී තරග කිරීමට නොහැකිව සිටිති. 
මෙම වයස් කාණ්ඩ දෙකෙහිම අවසන් තරඟ දෙකට සුදුසුකම් ලැබූ කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයේ සහ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ක්‍රීඩිකාවන්ට බරපතල අසාධාරණයක් සිදුවී ඇති බවට විදුහල්පතිවරු සහ මව්පියෝ චෝදනා කරති. මෙම තරගාවලි දෙකම සංවිධානය කිරීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමයටයි. 

2024 දෙසැම්බර් මාසයේදී වයස අවුරුදු 15 න් පහළ බාලිකා ‘ඒ‘ කොටසේ තරඟාවලියේ අවසන් පූර්ව වටය පැවැත්විණ. එහිදී ශාන්ත බි්‍රජට් කන්‍යාරාමය සහ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්හ. එහි අවසන් තරගය 2024 දෙසැම්බර් 12 වන දින පැවැත්වීමට නියමිතව තිබුණද, අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරන ලද විරෝධතාවක් හේතුවෙන් මෙම අවසන් තරගය එදිනම කල් දමන ලදී.

එහි අවසන් තරගය 2025 ජුනි මාසයේදී පැවැත්වීමට යොදාගත් නමුත් පසුව ඇතිවූ විරෝධතා මෙන්ම  කලාපීය සහ පළාත් තරඟාවලි දිනත් ඒ අතරට යෙදීමත් ජාත්‍යන්තර තරග වලට සහභාගි වීමට සිදුවීමත් හේතුවෙන් මෙම තරගයට නැවත දිනයක් යොදාගත නොහැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස, 15 න් පහළ ‘ඒ’් කාණ්ඩයේ අවසන් තරඟය තවමත් පවත්වා නැත. 

2025 දීත් වයස 17 න් පහළ බාලිකා ‘ඒ’ කාණ්ඩයේ තරඟාවලියේදී ද එවැනිම තත්වයක් ඇතිවිය. එහිදීත් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමය සහ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයයි. එම අවසන් තරඟය 2025 නොවැම්බර් 20 වන දින සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබිණ. පාසල් තරගාවලියේ සමාප්ති උත්සවයට පසුව සම්මාන ප්‍රදානෝත්සවය සැලසුම් කළ පරිදි පැවැති නමුත් කාන්තා පැසිපන්දු තරගාවලියේ අවසන් තරගය නොපැවැත්විණ. 

17 න් පහළ තරගාවලියේ අවසන් පූර්ව තරඟයක්  නැවත පවත්වන ලෙස ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසුව පැන නැඟි විරෝධතා හමුවේ එහි අවසන් තරගය කල්දැමීමට සිදුවිය. එහෙත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල නිවේදනයක් නිකුත් වී නොමැති නමුත් තරගය පැවැත්වෙන දිනයක් ද තවමත් ප්‍රකාශයට පත්ව නැත. 

මෙම අවසන් තරග දෙකම නැවත නැවතත් ප්‍රමාද වීමෙන් මෙම පාසල් දෙකේම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මහත් අපහසුතාවට පත්ව සිටිති. 

විශේෂයෙන් එකම ක්‍රීඩකා කණ්ඩායමක් වසර දෙකක් තිස්සේ බලපෑමට ලක්වීම බරපතල ප්‍රතිවිපාක ඇතිකරවන්නකි. මේ හේතුවෙන් මෙම ක්‍රීඩිකාවන්ගේ අධ්‍යාපන සැලසුම් අවුල් වී යාමත්, වසර ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සියෙන් පුහුණුවීම් කරමින් ඇතිකරගත් කීර්තිනාමය ඉදිරියට ගෙන යාමට නොහැකි වීමත් නිසා ඔවුන් මහත් මානසික ව්‍යාකූලතාවට පත්ව සිටින බවත් මව්පියෝ කියති. 

ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමයේ නිසි නායකත්වයක් නොමැතිකම මෙන්ම විනිශ්චය කිරීමේ ප්‍රමිතියක් නැති වීමත් මෙම තත්ත්වය ඇතිවීමට හේතුව බවත් මව්පියෝ කියති. 

 

- 213 


අදහස් (0)

පාසල් පැසිපන්දු තරගාවලියේ අවසන් තරග දෙකක් අතරමග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.