ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම මෙම අගෝස්තු 16 දා මධ්‍යහ්න 12.00 ට අවසන් කෙරේ. නිලවරණය මේ මස 31 දා පෙ.ව. 10.00 ට කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට විධි විධාන යොදා ඇති බව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් ගෲප් කපිතාන් සංජය ලීලාරත්න මහතා පවසයි.
පාපැදි සම්මේලනයේ තනතුරු 11ක් (සභාපති, උප සභාපතිවරු 07ක්, ලේකම්, උප ලේකම් හා භාණ්ඩාගාරික) සඳහා නව යෝජනා කැඳවීමට පියවර ගෙන ඇත.
මේ අතර ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට අනුබද්ධිතව දිස්ත්‍රික් සංගම් ඇතුළු සංගම් 58 කට මෙතෙක් ඡන්ද බලය හිමිව තිබූ බව පවසන සම්මේලනයේ ලේකම්වරයා පාපැදි ව්‍යවස්ථාව අනුව අක්‍රීය සංගම් 32කට ඡන්ද බලය අහිමි කර ඇති බව කියයි. එහෙත් මේ වන විට ඡන්ද බලය අහිමි කර ඇති සංගම් 16කින් අභියාචනා ඉදිරිපත් වී ඇත.
මෙම අභියාචනා පාපැදි නිලවරණ කමිටුව වෙත ඉදිරිපත් කර අවසන් තීරණය ගැනීමට නියමිතය.
පාපැදි නිලවරණ කමිටුව සඳහා පංච පුද්ගල කමිටුව පත් කර ඇත. ඇන්ටන් රාජා ගුණතිලක (සභාපති) ශ්‍රීමාල් වර්ණකුලසූරිය, නන්දන මහෝදරන්, එච්.ජී.හේමපාල යන මහත්වරු සහ ක්‍රීඩා අමාත්‍යංශ නියෝජිත සුභානි උඩවත්ත මහත්මිය පත්කර ඇත.
පාපැදි නිලවරණ කමිටුව මෙම 11 දා රැස් වී නිලවරණය මෙහෙයවන ආකාරය සහ ඡන්ද බලය හිමි සංගම් කවරෙක් ද යන්න තීරණය කිරීමට නියමිතය.
පාපැදි නිලවරණය මෙතෙක් ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව විගණන වාර්තා ප්‍රමාද වීම බව වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.