Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු තරග බලන්න එන්නත් 2ම

පාපන්දු තරග බලන්න එන්නත් 2ම

editorial - 2021 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
ලබන සඳුදා (8) කොළඹදී ආරම්භ වන අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය කොවිඩ් එන්නත් දෙකම සම්පූර්ණ කළ නරඹන්නන්ට පමණක්  විවෘත කිරීමට තීරණය කර තිබේ. එයද ක්‍රීඩාංගණයේ ආසන ධාරිතාවයෙන් 50% ක් පමණක් වන පරිදිය.

මෙම තරගාවලිය පැවැත්වෙන කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රේක්ෂක ධාරිතාව 7000 කට පමණ සීමා වේ. ඒ අනුව තරගයක් පැවැත්වෙන අවස්ථාවකදී එහි නරඹන්නන් රැඳවිය හැකි ගණන 3500 ක් නොඉක්මවනු ඇත. තරගාවලියේ තරග  නැරඹීම සඳහා ප්‍රවේපත්‍ර  මිලදී ගත යුතුය. ඒ සඳහා සුදුසුකමක් වන්නේ කොවිඩ් එන්නත් ක්‍රියාවලිය සම්පූර්ණ කළ බවට ලියවිල්ලක් ඉදිරිපත් කිරීමය.

අගමැති කුසලාන සිව්කොන් තරගාවලිය නැරඹීම සඳහා මාලදිවයිනෙන් 2000 කට ආසන්න නරඹන්නන් පිරිසක් වෙන්කර ගත් ගුවන් යානා මගින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි. ඔවුන්ට ද කොවිඩ් එන්නත් සහතික ඉදිරිපත් කිරීම  අනිවාර්ය වේ.  

මෙම සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියට සහභාගි වන විදේශීය කණ්ඩායම් අද (4) සිට දිවයිනට ළඟාවීමට නියමිතය. එහිදී සංචාරක බංග්ලාදේශ ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් කොටසක් පළමුවෙන් මෙරටට පැමිණේ. බංග්ලාදේශ කණ්ඩායමේ ඉතිරි ක්‍රීඩකයන් පිරිස හැරුණු විට මාලදිවයින් ජාතික  පාපන්දු කණ්ඩායම ද හෙට (5) දිවයිනට පැමිණීමට සූදානම්ව සිටියි.

තරගාවලියට සහභාගි වන සෙසු  විදේශීය කණ්ඩායම් වන  සීෂෙල්ස් දූපත් පාපන්දු කණ්ඩායමේ සෙනසුරාදා (6) පැමිණෙනු ඇතැයි වාර්තා වේ.

තරගාවලිය සඳුදා පස්වරු 4ට බංග්ලාදේශය හා සීෂෙල්ස්  රාජ්‍ය අතර තරගයෙන් ආරම්භ වේ.  නිල සමාරම්භක උත්සවය එදින රාත්‍රී 8.00 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

සමාරම්භක උත්සවයේ විශේෂාංග නිමාවට පත්වීමෙන් පසුව සත්කාරක ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර  තරගය එදින රාත්‍රී 9.00 ට ආරම්භ වේ. දෙරට ජාත්‍යන්තර පාපන්දු තරගයකදී නැවත මුණ ගැසෙන්නේ මාසයක් වැනි කෙටි කාලයකින් වීම කැපී පෙනේ.
මාලේ නුවරදී පැවැති 13 වැනි සාෆ්  පාපන්දු ශූරතා තරගාවලියේදී ඉකුත් ඔක්තෝබර් 10 වැනිදා මෙම කණ්ඩායම් මුණ ගැසුනු අවස්ථාවේදී මාලදිවයින ගෝල 1-0කින් ජය ලැබීය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක සත්කාරය දරන්නේ වසර 2008 න් පසුවය. ඒ කොළඹදී පැවැති හත්වැනි දකුණු ආසියානු ශූරතා තරගාවලියේදී මාලදිවයින හා සම සත්කාරය දරමිනි.

නොවැම්බර් 17 වැනිදාට නියමිත අවසන්  මහ තරගයෙන් නිමාවට පත්වන  අගමැති  කුසලාන තරගාවලියේ මූලික වටයේ පැවැත්වෙන තරග හයකදී අනුපිළිවෙළින් වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් දෙක අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබයි.

නොවැම්බර් 11 වැනිදා සීෂෙල්ස්  පිල සමඟත් නොවැම්බර් 14 වැනිදා බංග්ලාදේශය සමඟත් ශ්‍රී ලංකාව මූලික වටයේ  තරග දෙකකට සහභාගි වේ.

 


අදහස් (0)

පාපන්දු තරග බලන්න එන්නත් 2ම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.