Last Update  :  2026-01-14 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ඉන්දීය ගමන වැට උඩ?

පාකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ඉන්දීය ගමන වැට උඩ?

editorial - 2026 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

එළඹෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා තමා යොමු කළ ඉන්දීය වීසා අයඳුම්පත ප්‍රතික්ෂේප වී ඇති බව සඳහන් කරමින් ඇමරිකානු ක්‍රිකට් ක්‍රීඩක අලී ඛාන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ ඡායාරූපයක් හේතුවෙන් මේ වන විට මහත් ආන්දෝලානාත්මක තත්වයක් උද්ගතවී තිබේ. 

පාකිස්තානයේ උපත ලැබූ ක්‍රීඩකයකු වන අලී ඛාන් 35 හැවිරිදි දකුණත් වේග පන්දු යවන්නකු වන අතර ඔහු 2019 වසරේ ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායම නියෝජය කර ඇත. මින් වසර 6 කට පමණ පෙර 2020 වසරේදී ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වෙමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමටද ක්‍රීඩා කර ඇත. 

අලී ඛාන් හැරණුකොට පාකිස්තාන සම්භවයක් ඇති ශයාන් ජහන්ගිර්, මෙහොමඩ් මොසින් සහ එහසන් ආදිල් යන ක්‍රීඩකයන් තිදෙනාද ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති ඇමරිකානු සංචිතයට ඇතුළත්ව සිටිති. කෙසේ වුවත් ඔවුන්ගේ වීසා ප්‍රතික්ෂේප වී ඇති බව ඇමරිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැත. 

මෙම ක්‍රීඩකයන් සියලු දෙනාම මේ වන විට ශ්‍රී ලංකාවේ රැදී සිටින අතර ඊයේ (13 වැනිදා) කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී වීසා සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වී ඇතැයි දැනගන්නට ලැබේ. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරංචි මාර්ග පවසන්නේ තවමත් මෙම ක්‍රීඩකයන්ගේ වීසා අයදුම්පත් අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියට භාජනය වෙමින් පවතින බවය. 

සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වීමට පෙරාතුව මෙම ක්‍රීඩකයන් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ උපදෙස් පරිදි ඉන්දීය වීසා ලබා ගැනිම සඳහා අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කර ඇත. එහෙත් එම අදියර පමණක් සැලකිල්ලට ගනිමින් වීසා නිකුත් කිරීම සිදුනොවන බව සම්මුඛ පරීක්ෂණවලදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් එම ක්‍රීඩකයන්ට දැනුම් දෙනු ලැබ ඇතැයි වාර්තා වේ. 

කෙසේ වුවත් සම්මුඛ පරීක්ෂණවලින් පසුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇමරිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දුරතකන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇත්තේ වීසා නිකුත් කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන කිහිපයක් ලැබී ඇතත් ඒවා ප්‍රමාණවත් නොවන බවය. ඒ සඳහා විදෙස් අමාත්‍යශය මගින් නිකුත් කරනු ලබන තවත් ලිපි ලේඛන කිහිපයක් අවශ්‍ය බවද, එම ලිපි ලේඛන ලැබීමෙන් අනතුරුව මෙම ක්‍රීඩකයන්ගේ වීසා ක්‍රියාවලිය ඉදිරියට සිදු කෙරන බවද එහිදී ඔවුන් වැඩි දුරටත් පවසා ඇතැයි දැනගන්නට ලැබේ. 

පාකිස්තාන සම්භවයක් ඇති ඇමරිකානු ක්‍රීඩකයන්ට පමණක් නොව සෙසු ක්‍රීඩකයන්ටද ආරක්ෂක හේතූන් මත වීසා ලබාදීමේදී විශේෂිත වූ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට ඉන්දීයාව කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. එය මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පමණක් සිදුකරන ක්‍රියාවලියක් නොවන බවත්, මින් පෙරද ඕස්ටේ්‍රලියානු ක්‍රීඩක උස්මාන් කවාජා, එංගලන්ත ක්‍රීඩකයන් වන මුයින් අලී, ආදිල් රෂීඩ් සහ සොහේබ් බෂීර් වැනි ක්‍රීඩකයන් සඳහාද ක්‍රියාත්මක කර ඇති බවත් ඔවුහු සඳහන් කරති. 

ආරක්ෂක හේතූන් මත පාකිස්තාන කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින අතර ඔවුන් සහභාගි වන සියලුම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. බංග්ලාදේශයද තවමත් තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කරමින් සිටින අතර ඇමරිකාවට අමතරව කැනඩා, ඕමාන සහ ඉතාලි කණ්ඩායම්වලටද පාකිස්තාන සම්භවයක් සහිත ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති. 


අදහස් (0)

පාකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ඉන්දීය ගමන වැට උඩ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.