Last Update  :  2026-02-20 16:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණයට දින දෙන ඔලිම්පික් කමිටු විශේෂ මහ සභාව ලබන 14 දා

නිලවරණයට දින දෙන ඔලිම්පික් කමිටු විශේෂ මහ සභාව ලබන 14 දා

editorial - 2026 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභා රැස්විමක් ලබන මාර්තු 14 වැනිදා පස්වරු 4 ට එහි හේමසිරි ප්‍රනාන්දු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඒ සම්බන්ධයෙන් එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා එහි මහ ලේකම් රිෆ්ඩි ෆාමී යන මහත්වරුන්ගේ අත්සනින් පෙබරවාරි 17 වැනිදා දාතමින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි එදින කැඳවීමට නියමිත න්‍යාය පත්‍රයට අනුව ප්‍රධාන කරුණු පහක් අන්තර්ගත කර තිබේ.

පසුගිය ජනවාරී 12 වැනිදා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව යොමු කළ ලිපිය සභාගත කිරීම,කමිටුවේ අනුබද්ධිත සාමාජික ජාතික ක්‍රීඩා සංගම් ප්‍රකාශයට පත් කිරීම, ව්‍යවස්ථානූකූලව නිලවරණ කමිටුව නිර්දේශ කිරීම හා කමිටුවේ මීළග නිලවරණය කැඳවෙන දිනය ප්‍රකාශයට පත් කිරීමත් න්‍යාය පත්‍රයේ ප්‍රධාන කාරණා ලෙස සදහන් කර තිබේ.

2026 ජනවාරි 12 දිනැති ලිපිය මගින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කරන ලද උපදෙස් සහ මාර්ගෝපදේශයන්ට අනුකූලව දැනට විමර්ශනයන්ට හා චෝදනාවන්ට යටත්ව සිටින හා එහි ක්‍රියාකාරකම්වලින් වැළකී සිටින ජාතික ඔලිම්පික් කමිටුවේ ඕනෑම  සාමාජිකයකු හෝ නිලධාරියකු එදින කැඳවෙන මෙම මහ සභා රැස්වීමට  සහභාගිවීමෙන් වැළකී සිටිය යුතු බවත්  නිකුත් කළ මෙම ලිපියෙන් විශේෂයෙන්ම අවධාරණය කර තිබේ

එය ඔලිම්පික් සම්මුතියේ මූලික ප්‍රතිපත්තින් සහ ඔලිම්පික් ව්‍යාපාරය තුළ සදාචාරාත්මක ප්‍රමිතීන්ට අනුකූල නොවන බැවින් එවැනි නිලධාරීන් හා සාමාජිකත්වය මෙම විශේෂ මහ සභා රැස්වීමට සහභාගිත්වය නුසුදුසු තත්වයක් මතු කරවන්නක් බව සුරේෂ් සුබ්‍රමනියම් මහතා විසින් නිකුත් කරනලද එම නිවේදනයෙන් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

විශේෂ මහ සභා රැස්වීමට සහභාගිවීම  සදහා නිර්දේශ ලබන සාමාජික ජාතික ක්‍රීඩා සංගම් විසින් ඒ සදහා ලිපියේ දැක්වෙන ව්‍යවස්ථානූකූල කාරණා සම්පුර්ණ කරමින් ලබන මාර්තු 3 වැනිදාට පෙර එම සහභාගිත්ව නාමයෝජනා කොළඹ,ටොරින්ටන් පෙදෙසේ අංක 100/ 9 - එෆ් දරන ස්ථානයේ ස්ථාපිත ජාතික ඔලිම්පික් කමිටුවේ මූලස්ථානය  (ඔලිම්පික් නිවස) වෙත යොමු කරන ලෙස එමගින් දැනුම්දී තිබේ.

මෙම ලිපියේ පිටපත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ෂ (ආයතනික හා පාලන සේවා), ජෙරම් පොයිවේ, ආසියානු ඔලිම්පික් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් හුසේන් අල් මුසාලම් යන මහත්වරුන් ඇතුළුව මෙරට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රධාන ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික සියලු ජාතික ක්‍රීඩා සංගම්හි සභාපතිවරුන් හා ලේකම්වරුන් වෙත යොමු කර තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගෙන් ‘ලංකාදීප’ය ඊයේ (19) යොමු කළ විමසුමකදී පැවැසුවේ පසුගිය ජනවාරි 12 වැනිදා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුවේ නිලවරණය සම්බන්ධයෙන් තමන් යොමු කළ ලිපියට ඊයේ වන තෙක් පිළිතුරක් නොලැබුණු බවයි.

සුබ්‍රමනියම් මහතා යොමු කළ එම ලිපියෙන් ලබන අප්‍රේල් 30 වැනිදාට පෙර කැඳවීමට නියමිත ශ්‍රී ලංකාවේ මීළග (2025 - 29) ඔලිම්පික් නිලවරණය සදහා උපදෙස් පතමින් හා ඒ සදහා සුදුසු දිනයක් නිර්දේශ කරන ලෙසත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට දැනුම්දී තිබුණි.ඒ සදහා ලබන අප්‍රේල් 22 - 24 -30 යන දිනයන් ශ්‍රී ලංකාව යෝජනා කර තිබුණි.

සුබ්‍රමනියම් මහතා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ ඔලිම්පික්  නිලවරණය නිරීක්ෂණය කිරීම සදහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නියෝජිතයන් හෝ ඔවුන් විසින් නම් කෙරෙන නියෝජිතයන්ගේ සභභාගිත්වය ඉහත ලිපියෙන් අපේක්ෂා කරන බවයි.

එම ලිපියට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ප්‍රතිචාරයක් ලැබෙන තුරු ශ්‍රී ලංකාවේ ඔලිම්පික් නිලවරණය පැවැත්වෙන දිනයක් නිශ්චිතව මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු එහිදී පැවැසීය.

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් නිල කාලය (2021 - 25) පසුගිය 2025 දෙසැම්බර් 27 වැනිදා නිල වශයෙන් අවසන් විය.


අදහස් (0)

නිලවරණයට දින දෙන ඔලිම්පික් කමිටු විශේෂ මහ සභාව ලබන 14 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.