
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ පළඟ වටය යටතේ පොලිසිය සහ නාවික හමුදාව අතර අද (6 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 30-29 ක අතිෂය තියුණු ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය. මෙවර තරගාවලියේදී නාවික හමුදාව ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය විය.
තරගාවලියේ මූලික වටය යටතේ මෙම කණ්ඩායම් දෙක තරග වැදුණු අවස්ථාවේදී ලකුණු 14-10 ක් ලෙස නාවික හමුදාව පරාජය කිරීමට පොලිසිය සමත් විය. ඒ අනුව මෙම තරගයේදී පොලිසියෙන් එම පරාජයේ වාඩුව ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.
නාවික හමුදා කණ්ඩායමේ නිවස්න ක්‍රීඩාංගණය වන වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 16-10 ක් ලෙස පෙරමුණ ගැනීමට නාවික හමුදාව සමත් විය. එහිදී නාවික හමුදා ක්‍රීඩකයන් ගෝල දිනුමක් සහ දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලබාගත් අතර පොලිස් ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුම් 2 ක් මගිනි.
දෙවැනි අර්ධයේදී නාවික හමුදා ක්‍රීඩකයන් ගෝල දිනුමක් සහ දඬුවම් උත්සාහක දිනුමක් සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 14 ක් එක්කර ගනිද්දී, පොලිස් ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු 19 ක් ලබාගත්තේය. එහෙත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව නාවික හමුදාවට මෙම තරගයෙන් ලකුණක තියුණු ජයක් හිමිවිය.
මෙම තරගයේදී නාවික හමුදාව වෙනුවෙන් අමිත් මධුෂංක සහ කවිෂ්ක විජේරත්න උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉසුරු කෝන්ගහවත්ත ප්‍රවර්ථන 2 ක් සහ දඬුවම් පහර 3 ක් සාර්ථක කරගත්තේය. එහිදී සුජාන් කොඩිතුවක්කු, ප්‍රින්ස් චාමර, විහඟ ශවීන්, ප්‍රදීප් කුමාර සහ හිමාෂ රමිත පොලිසිය වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් දෙකක ප්‍රවර්ථන සාර්ථක කරගැනීමට කලියෝවා මොසෙටඩ්‍රා සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.