Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේශපාලකයන්ට යළිත් තහනමක්

දේශපාලකයන්ට යළිත් තහනමක්

editorial - 2025 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නාමල් පතිරගේ)

ක්‍රීඩා පනතේ නව රෙගුලාසී සංශෝධනයට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා බදාදා (21) අනුමැතිය ලබාදී තිබේ.ඒ අනුව එහි අති විශේෂ ගැසට් නිවේදනය ක්‍රීඩා ඇමැතිවරයා විසින් අද (23) නිකුත් කිරීමට නියමිතව තිබුණි.මෙම අලුත්ම ක්‍රීඩා රෙගුලාසී සංශෝධනයත් සමග මීට පෙර ඒ හා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරුන් විසින් ක්‍රියාත්මක කෙරුණු අති විශේෂ ගැසට් නිවේදන 38 ක් පරිච්ඡින්නවී (අහෝසිවී) තිබේ.

මෙතැන් සිට ක්‍රීඩා පනතේ නව සංශෝධිත රෙගුලාසි බලාත්මක වන අතර ඒ අනුව ජාතික ක්‍රීඩා සංගම් නිල කාලය උපරිම වසර දෙකකට සීමා කර  තිබේ.එහි ඇති තවත් සංශෝධිත  වැදගත් වගන්තියක් වන්නේ ජාතික ක්‍රීඩා සංගම් තනතුරු දැරිය හැකි උපරිම සීමා කාළයත් වසර 12 කට සීමා කිරීමයි.

ඒ අනුව කිසියම් නිලධාරියකුට ජාතික ක්‍රීඩා සංගමයක සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරික යන ප්‍රධානතම තනතුරුවල තවදුරටත් වසර අටක් දක්වා උපරිම කටයුතු කළ හැකිය.එහෙත් එයින් පසුව එහි වෙනත් තනතුරක් හෝ විධායක සභික ධූරයක් දැරිය හැක්කේ උපරිම තවත් වසර හතරක් පමණි.

එහෙත් පැවැති ක්‍රීඩා රෙගුලාසි වලට අනුව  ධූර දරන්නකුට ඒ සදහා උපරිම වසර 16 ක කාලයක් ලැබී තිබුණි.

2025 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග  වශයෙන් නව ක්‍රීඩා රෙගුලාසි හැඳින්වේ.ජාතික ක්‍රීඩා සංගමයක විධායක සභාව උපරිම 17 කට සීමා කිරීම, එහි උප සභාපති ධූර සංඛ්‍යාව තුනකට සීමා කිරීම, ජාතික ක්‍රීඩා සංගමයක් ලියාපදිංචි කිරීම සදහා රුපියල් 30000 ක ගාස්තුවක් අය කිරීම, කාන්තාවන් නිරත වන ක්‍රීඩා ඉසව්වක් නම් එහි විධායක සභාවට අවම කාන්තාවන් දෙදෙනකු පත් කර ගැනීම, ක්‍රීඩා සුදුසුකම් නොමැති පුද්ගලයකු ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධාන තනතුරු සදහා ඉදිරිපත් වන්නේ නම් ඒ සදහා අවම අවම වසර 15 ක වෘත්තියේ පළපුරුද්ද හෙබි වරලත් ගණකාධිකාරිවරයකු, නීතිඥවරයකු වෛද්‍යවරයකු, ඉංජිනේරුවරයකු හෝ ක්‍රීඩා විද්‍යා උපාධියක් ලබා තිබීම යන සංශෝධිත රෙගුලාසි ගණනාවක් එහි අඩංගුය.

මේ අතර නව ක්‍රීඩා රෙගුලාසි සංශෝධනයත් සමග ජාතික ක්‍රීඩා සංගම් තනතුරු දැරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලකයන්ට නැවැත තහනම් කර තිබීම කැපී පෙනේ.

එහෙත් වසර 2022 දෙසැම්බර් මාසයේදී එවකට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා හඳුන්වා දුන් ක්‍රීඩා සංශෝධිත රෙගුලාසි මාලාවට අනුව දේශපාලකයන්ට ඒ සදහා සහනයක් සලසාදී තිබුණි.

එහි දක්වා තිබුණේ අමාත්‍යවරයාගේ ලිඛිත අනුමැතිය යටතේ සමාජයට ක්‍රීඩාවට සුවිශේෂී සේවයක් කළ හා සුවිශේෂී ආදායම් බදු ගෙවන පුද්ගලයකු ජාතික ක්‍රීඩා සංගමයක නිලයක් දැරීමට සුදුස්සකු වන්නේය යන පරිදිය.

වසර 2016, 2017,2018, 2019, 2020, 2021, 2022, 2023,2024 යන වසරවල නිකුත්වූ ගැසට් නිවේදන එහිදී බලරහිතවී තිබේ.


අදහස් (0)

දේශපාලකයන්ට යළිත් තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.