Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දහයයි-10 ක්‍රිකට් තරගාවලිය හෙට සිට

දහයයි-10 ක්‍රිකට් තරගාවලිය හෙට සිට

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් ක්‍රීඩාවට දහයයි10 ආකෘතිය හඳුන්වාදීම වෙනුවෙන් පැවැත්වෙන දහයයි10 (ටී-10) ක්‍රිකට් තරගාවලිය හෙට (14 වැනිදා) එක්සත් ආරාබි එමීර් රජ්‍යයේදී ආරම්භ වේ. කණ්ඩායම් 6 ක් තරග වදින මෙම තරගාවලිය ලබන 17 වැනිදා දක්වා පැවැත්වේ.

මෙම තරගාවලියේදී එක් කණ්ඩායමක් ඕවර 10 ක් ක්‍රීඩා කළ යුතුවේ. ඒ සඳහා ඔවුන්ට මිනිත්තු 45 ක කාලයක් හිමි වන අතර තරගයක් මිනිත්තු 90 ක කාලයක් පුරා පැවැත්වේ.

මේ වසරේ අප්‍රේල් මාසයේදී මෙරට පැවැති අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියෙන් ජය ලැබූ කොළඹ කණ්ඩායම, ‘කලම්බෝ ලයන්ස්’ ලෙසින් මෙම තරගාවලියට සහභාගි වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෝ රැසක් එම කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන ‘කලම්බෝ ලයන්ස්’ කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් අතරින් ළහිරු තිරිමාන්න, ඩිල්ෂාන් මුණවීර, කිත්රුවන් විතානගේ, තිසර පෙරේරා, ඇන්ජලෝ පෙරේරා, ෂෙහාන් ජයසූරිය, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, විෂ්ව ප්‍රනාන්දු, සචිත්‍ර සේනානායක සහ ජෙෆ්රි වැන්ඩසේ ශ්‍රී ලංකා කණ්ඩායම නියොජ්නය කළ ක්‍රීඩකයෝ වෙති.

ඇන්ජලෝ ජයසිංහ, නිපුන් කරුණානායක, අලංකාර අසංක සහ කසුන් මධුෂංක කොළඹ කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයන් වන අතර අවිෂ්ක ගුණවර්ධන මහතා එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

කෙසේ වුවත් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටීම නිසා තිසර පෙරේරා, ළහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර සහ විශ්ව ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ට මෙම දහයයි10 තරගාවලිය අහිමිවනු ඇත.

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර් සංගක්කාර මෙම තරගාවලියේදී ‘මරාතා ඇරබියන්ස්’ කණ්ඩායමටද, දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන රංගන හේරත් ‘පංජාබි ලෙජන්ඞ්ස්’ කණ්ඩායමටද ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නමුත් පසුව විවිධ හේතු නිසා ඔවුන් ඉන් ඉවත්ව ඇති බව වාර්තා වේ.

මෙම තරගාවලියේදී කලම්බො ලයන්ස් කණ්ඩායම සමග මාරාතා ඇරබියන්ස් සහ පක්ටූන්ස් යන කණ්ඩායම් ‘බී’ කාණ්ඩය යටතේද, පංජාබි ලෙජන්ඞ්ස්, කේරලා කිංග්ස් සහ බෙන්ගාල් ටයිගර්ස් යන කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩයට යටතේද තරග වැදීමට නියමිතය.

එහිදී විරේන්ද්‍ර සෙවැග් විසින් මාරාතා ඇරබියන්ස් කණ්ඩායමද, ෂොයිබ් මලික් විසින් පංජාබි ලෙජන්ඞ්ස් කණ්ඩායමද, සහීඞ් අෆ්රිඩි විසින් පක්ටූන් කණ්ඩායමද, ඔයින් මෝගන් විසින් කේරළ කිංග්ස් කණ්ඩායමද, සෆ්රාස් අහමඞ් විසින් බෙංගෝල් ටයිගර්ස් කණ්ඩායම මෙහෙයවනු ලබති.


තරගාවලියේ කාල සටහන

දෙසැම්බර් 14
බෙන්ගාල් ටයිගර්ස් පිල සහ කේරලා කිංග්ස් පිල අතර
මාරාතා ඇරබියන්ස් පිල සහ පක්ටූන්ස් පිල අතර


දෙසැම්බර් 15
බෙන්ගාල් ටයිගර්ස් පිල සහ පංජාබි ලෙජන්ඞ්ස් පිල අතර
මාරාතා ඇරබියන්ස් පිල සහ කලම්බො ලයන්ස් අතර
පංජාබි ලෙජන්ඞ්ස් පිල සහ කේරලා කිංග්ස් පිල අතර
කලම්බො ලයන්ස් පිල සහ පක්ටූන්ස් පිල අතර


දෙසැම්බර් 16
‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානය සහ ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානය අතර
‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානය සහ ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය අතර
‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය සහ ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය අතර


දෙසැම්බර් 17
පළමු අවසන් පූර්ව තරගය
දෙවැනි අවසන් පූර්ව තරගය
අවසන් මහ තරගය

 

- 036

 


අදහස් (0)

දහයයි-10 ක්‍රිකට් තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.