Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දක්ෂිත පාර්ශ්වයෙන් රෝහිත ඉවත්වෙයි

දක්ෂිත පාර්ශ්වයෙන් රෝහිත ඉවත්වෙයි

editorial - 2024 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පැවැති (2023 – 27) නිලවරණයේ දී සභාපති අපේක්‍ෂක දක්‍ෂිත තිලංග සුමතිපාල මහතාට සහයෝගය පළකර සිටි ප්‍රධාන පාර්ශවකරුවකු වූ වෙන්නප්පුව ලීගයේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා මෙතැන් සිට ඔහුගේ පාර්ශ්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

වෙන්නප්පුව නිව්යංග්ස් ක්‍රීඩා සමාජයේ මෙන්ම ශූරයන්ගේ ලීග් තරගාවලියේ ක්‍රීඩා සමාජ එකමුතුවේ සභාපති ධුරයේත් තවදුරටත් කටයුතු කරන රෝහිත ප්‍රනාන්දු මහතා පැවසුවේ දක්‍ෂිත සුමතිපාල මහතා මේ වනවිට විශ්වාසය තැබිය නොහැකි පොරොන්දු කඩකළ අයෙකු බවට පත්ව සිටින බවයි.

‘‘පාපන්දු නිලවරණයෙන් අපේ (දක්‍ෂිත සුමතිපාල) පාර්ශ්වය පැරදුණත් ඉදිරි අපේක්‍ෂා ඇතිව වත්මන් පාපන්දු විධායක සභාවේ කටයුතු නිරීක්‍ෂණය කරමින් දක්‍ෂිත සුමතිපාල මහතා සමග පාර්ශ්වයක් ලෙස තවදුරටත් කටයුතු කර ගෙන යන්න අපි තීරණයක් අරන් තිබ්බා.

දක්‍ෂිත සුමතිපාල මහතා නිලවරණය පැරදුණත් ලීග 20 ක මනාපය ලබාගන්න පාර්ශ්වයක් හැටියට අපි සමත් වුණා. නමුත් ඔහු වෙනුවෙන් පෙනී සිටි මෙම ලීග සම්බන්ධයෙන් ඔහු දැන් දක්වන ප්‍රතිචාරය ඉතාම කනගාටුදායකයි. විශේෂයෙන්ම මම සියලු දේවල් අත්හැරලා ඔහු වෙනුවෙන් නිලවරණයේ දී පෙනී සිටියා. එතැනදී එම නිලවරණයට ඉදිරිපත් වූ අනෙක් පාර්ශ්වයෙන් විවිධ බලපෑම් එල්ල වුණත් ඒ සියලු දේ විඳ දරාගෙන නිලවරණයේ දී ඔහු වෙනුවෙන් පෙනී සිටියා. ඔහු අද ඒ දේ අමතක කරමින් කටයුතු කරනවා නම් තවදුරටත් ඔහු සමග රැඳෙන්න මම සූදානම් නෑ.

පාපන්දු ආයතනයේ පැවැති නිලවරණයෙන් (2023 – 27) පත්වූ විධායක සභාව අද වෙනකන් වැඩසටහන් ආරම්භ කරලා නෑ. නමුත් වත්මන් සභාපති ජස්වර් උමාර් මහතා කෙරෙහි ඔය උපසභාපති ධුරවලට පත්වෙලා ඉන්න මනිල් ප්‍රනාන්දු හා රංජිත් රුද්‍රිගුට වඩා විශ්වාසය තැබිය හැකියි. ජස්වර් උමාර් ගැන අපි මොන මත දැරුවත් ඔහු මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගන්න දන්න අයෙක්. මේක මගේ අදහසක් මිසක ඔහුට පෙන්වන සහයෝගයක් නොවන බවත් කිව යුතුයි.

පසුගිය 2023 සැප්තැම්බර් 29 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පැවැති නිලවරණයෙන් වත්මන් සභාපති ජස්වර් උමාර් මහතා අනුරාධපුරය ලීගයේ වත්මන් සභාපති දක්ෂිත සුමතිපාල මහතා ඡන්ද 45 – 20 ක් ලෙස පරාජයට පත් කරමින් එහි සභාපති ධුරයට පත්විය.


අදහස් (0)

දක්ෂිත පාර්ශ්වයෙන් රෝහිත ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.